පරාක්‍රම සමුද්‍රය රැක ගන්න, මහා සඟ රුවන පෙරට එති

පරාක්‍රම සමුද්‍රය රැක ගන්න, මහා සඟ රුවන පෙරට එති

කර්තෘ Staff writer

27 Aug, 2021 | 9:34 pm

COLOMBO (NEWS1ST) :  ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කොට එහි ඉදි කරමින් පවතින ඇවිදින මංතීරුවේ වැඩ වහා ම නවත්වන්නැයි, ඉල්ලමින් මහා සංඝරත්නය අද (27) වැව් බැම්ම වෙත වැඩම කළහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විහාරස්ථාන රැසක වැඩ සිටින භික්ෂූන් වහන්සේ අද උදැසන එලෙස ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කොට ඉදිවන ඇවිදින මං තීරුව නිරීක්ෂණය සඳහා වැඩම කළහ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ පිරිසක් හා ප්‍රදේශවාසීන් ද මෙම විරෝධතාවට එක්ව සිටි අතර භික්ෂූන් වහන්සේ පිරිස මෙම ඉදිකිරීමට විරෝධය පළ කරමින් වැව් බැම්මට එපිටින් පිහිටි මාර්ගයේ සිට සිය විරෝධය පළ කළහ.

භික්ෂූන් වහන්සේ මෙම ස්ථානයට වැඩම කර තිබුණේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වාරිමාර්ග ඉංජිනේරුවරයා හා පොළොන්නරුව දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට එම ස්ථානයට පැමිණෙන ලෙස පූර්ව දැනුම් දීමක් සිදුකර වුවත් ඔවුන් එම ස්ථානයට පැමිණියේ විනාඩි 45 කට පමණ පසුවයි.

අනතුරුව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ ධර්මසේන මහතා ද මෙම ස්ථානයට පැමිණියේ ය.

කෙසේ වෙතත් භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි මෙම ඉදි කිරීමේ කටයුතු තාවකාලිකව නතර කරන බවත් , අදාළ ඉදිකිරීම් සඳහා භාවිත කරන බැකෝ යන්ත්‍රය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා බවටත් පොරොන්දු වීමෙන් අනතුරුව පිරිස විසිර ගියහ.

ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයට තර්ජනයක් වන මෙවැනි ඉදිකිරීමකට අනුමැතිය දුන්නේ ඇයි.?

ඒ පිළිබඳව සිදු කළ විමසීමේදී පරාක්‍රම සමුද්‍රය භාර වාරි ඉංජිනේරු අසේල උදයංග මහතා පැවුසවේ, සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් මිනිසුන්ගේ සිත නිවා ගැනීම, විවේකයෙන් සීටීම, සංචාරක කටුයුතු වැනි දේ ජලාශයක් තුළින් ඉටු කර ගත හැකි බවයි.

”ජලාශයක් කිව්වම අපි දකින්නේ කෘෂිකාර්මික කටයුතු , පානීය ජලය ලබාගැනීම , වගේ සාම්ප්‍රදායිකව හිතන කරුණු කිහිපයක් තියෙනවා. හැබැයි අපි ලෝකයත් එක්ක ඉස්සරහට යනකොට මිනිස්සුන්ගේ හිත නිවාගන්න , විවේකයෙන් සීටීම. සංචාරක කටයුතු . ඔය වගේ දේවල් මේ ජලාශයක් තුළින් අපිට කරගන්න පුළුවන්. නැතුව එහෙම නැති වුණොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. මේක ඇත්තටම ව්‍යායාම සඳහා ම නිපදවන එකක් නෙමෙයි. මිනිස්සුන්ගේ පොළොන්නරුවෙ මිනිස්සුන්ගෙ කාලයක් තිස්සේ තියෙන ,දේශීය හා විදේශීය හුගක් අය වෙනුවෙන් කරන අවශ්‍යතාවක්”

තවද ඉදි කිරීම මගින් එහි ගල් අඩි 5 ක් 6 ක් දුරට යාම තුළින් සිදු වන හානිය විපත කුමක්දැයි පරාක්‍රම සමුද්‍රය භාර වාරි ඉංජිනේරුවරයා විමසා සිටී.

”එතකොට මේ තියෙන ගල් අඩි 5 ක් 6 ක් දුරට ගියා කියලා මොකක්ද වෙන හානිය සහා වෙන්න තියෙන විපත මොකක්ද කියලා මම අහන්න කැමති”

පරාක්‍රම සමුද්‍රය භාර වාරි ඉංජිනේරුවරයා පවසන පරිදි ඇවිදින මංතීරුවක් අත්‍යවශ්‍ය වී තිබේ නම්, මේ වනවිටත් එවැනි මංතීරු දෙකක් මේ ස්ථානයට ආසන්නයේම පිහිටා තිබේ.

ඉන් 2008 අගෝස්තු 14 වනදා ඉදිකර අවසන් කළ මෙම ඇවිදින මං තීරුව ඉතා හොඳ තත්ත්වයේ පවතින්නකි.

මං තීරු දෙකම ඇත්තේ මෙම නව ඇවිදින මං තීරුව ඉදිකරන ස්ථානයට මීටර් 500ක නුදුරිනි.

මේ අතර අද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලෙයේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විය.

පොලොන්නරුව දිස්ත්‍රීක් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසේන මහතා පවසන්නේ, මං තීරුව සකසා භාවිත කරන කාලයකදී ඇතැම් විට එහි වටිනාකම තේරුම් යනු ඇති බවයි.

”බැම්මට කිසි කෙනෙක් අත තියන්න ඕනෙ නෑ කියලා කියන්නෙ. හැබැයි ඕක හදලා පාවිච්චි වෙන කාලෙදී සමහර වෙලාවට මේකේ වටිනාකම මිනිස්සුන්ට තේරෙයි. මේක ලෙවල් කිරීම කරන්නේ. නැතුව මේකෙ තියෙන ගල් පල්ලෙහාට දැමීමක් නෙමෙයි”

නාගරික සංවර්ධන අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් නගර නිර්මාණ ශිල්පීනී ටී.ජී. කෞශල්‍යා මහත්මිය පවසන්නේ, මෙය හදිසි ඉදි කිරීමක් නොවන බවත් එය අවුරුදු දෙක තුනක් තිස්සේ පැමිණි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමක් බවයි.

”මේ අවස්ථාවේ මේක මේ හදිසියේ කරනවා නෙමෙයි. මේක දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ ආපු යෝජනාවක්. ඒකට මුදල් වෙන් වෙන ක්‍රමවේදයේ දී ඒක වෙන්වෙලා තියෙනවා. තාම එතන පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු තමා එනම් ඔය සිද්ධ වෙමින් පවතින්නේ’

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් උදය නානායක්කාර මහතා පවසන්නේ, කිලෝමීටර් එක හමාරක් පමණ දුරැති ඇවිදින මං තීරුව සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් මේ සඳහා අදාළ පාර්ශවවල අනුමැතිය ලැබී ඇති බවත් ය.

ජාතික භික්ෂු පෙරමුණ ද අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.

ජාතික භික්ෂු පෙරමුණේ ජාතික විධායක සභික, පාරිසරික ගවේෂක ශාස්ත්‍රපති පොල්ගහවෙල ඥානකිත්ති හිමි පවසන්නේ,
නැවත වරක් රජය සිය හිතුමනාපයට රටේ පරිසර පද්ධතියට හානි කරමින් විවිධ කටයුතුවල නියැළෙන්නට පටන් ගෙන ඇති බවයි.

”නැවත වතාවක් ආණ්ඩුව තමන්ගේ හිතුමනාපෙට මේ රටේ පරිසර පද්ධතියට හානි කරමින් විවිධ කටයුතුවල නියැලෙන්නට පටන් ගෙන තියෙනවා. මේ වනවිට අපිට පේනවා මෙ ආණ්ඩුවට රටේ වැවක් , වනාන්තරයක් පේන්න බැරි තැනකට පත්වෙලා තියෙනවද කියන කුකුසය ඇති වෙනවා.. පහුගිය කාලෙ මහා වන විනාසයක් සිදු කළා. තිස්ස වැව හාරන්නට විවිධ කටයුතු සිද්ද කරා තිස්ස වැව විනාස කරන්නට. එතනදිත් අපි දැක්කා නීත්‍යානුකූල අවසරයන් ලබාගන්නෙ නැතුව පවා ඒ කටයුතු කරේ.මේ සම්පත විනාස කරන්නෙ නැතිව ඇවිදින මංතීරු හදාගන්න පුළුවන් කමක් නැද්ද?”

ශ්‍රී ලංකා වාරි තාක්ෂණය පිළිබඳව දශක ගණනක් පර්යේෂණ සිදුකරමින් මෙරට වාරි තාක්ෂණය උදසො අසීමීත මෙහෙවරක් සිදුකළ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ වාරි පුරා විද්‍යාඥ මහාචාර්ය චන්දන විතානරච්චි මහතා ද මෙම ඉදිකිරීම පිළිබඳව අදහස් පළ කළේ ය.

වාරි කර්මාන්තයේ පරාක්‍රම සමුද්‍රයට හිමි තැන ගැන පැහැදිලි කරමින් මහාචාර්යවරයා පවසන්නේ, පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම මත සිදුකරන මෙම ඉදිකිරීම සඳහා කිසිසේත් අනුමැතියක් ලබා දිය නොහැකි බවයි.

එමෙන්ම පරාක්‍රම සමුද්‍රය කිසිවකුගේ උරුමයක් නොවන බව පවසන මහාචාර්යවරයා අවධාරණය කරන්නේ, මෙය රටේ ජනතාවගේ උරුමයක් බවයි.

මහාචාර්යවරයා තවදුරටත් පවසන්නේ, මෙය කිසිසේත් අනුමැතියක් ලබා දිය නොහැකි ක්‍රියාවක් බවත් අතිශය සුවිශේෂී පුරාවිද්‍යාත්මක උරුමයක් වන වාරි කර්මාන්තය ක් රැක ගැනීමට ජාතියක් ලෙස සියලු දෙනා එකාවන්ව පෙළ ගැසිය යුතු බවත් ය.

”අනුමැතියක් ලබා දෙන්නත් බැහැ. අපිට කැමැත්තක් ප්‍රකාශ කරන්නත් බැහැ. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඒක කිසි කෙනෙක් ගේ උරුමයක් නෙමෙයි රටේ ජනතාවගේ උරුමයක් . පැරණි රජ දරුවෝ මේවා අපිට ඉදිකරලා දීලා තියෙන්නේ ඔවුන්ගේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා මේවා අද හෙට නෙමෙයි ඉවර වෙන්න ඕනේ අනාදිමත් කාලයක් පවතින්න ඕනෙ. ඒ නිසා මෙම කාර්ය මමත් අතිශය වැරදි ක්‍රියාවක්. ඒ විතරක් නෙමෙයි මෙවැනි පුරාවිද්‍යා උරුමයකට කරන හානියක් ලෙසත් අපිට හඳුන්වන්න පුළුවන්. මොකද වාරි කර්මාන්තයක් කියන්නේ අතිශය සුවිශේෂී පුරාවිද්‍යාත්මක උරුමයක්. ඒ නිසා මේවා රැක ගැනීමට ජාති අපි කවුරුත් එකාවන්ව පෙළ ගැසීම වැදගත් කොට මම සලකනවා”

අහසින් වැටෙන එක් දිය බිඳුවක් හෝ මුහුදට නොයවා ප්‍රයෝජනයට ගන්නැයි ජාතියට ඉගැන්වූ මහා පරාක්‍රමබාහු මහ රජතුමා මේ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ, එතුමාගේ ඒ උතුම් පරමාර්ථය යථාර්ථයක් කරමිනි.

මහා ජලකඳක් දරාගෙන රජරට කෙත්වතු සරු කරන මේ මහා ජලාශය පරාක්‍රම සමුද්‍රය යයි නම් ලැබුවේ එහි මහ ජල කඳ තුළින් සමුද්‍රයක් මෙන් රළ නැගී බිඳෙන නිසාවෙනි.

මහ මුහුදේ රළගෙඩි තරම් විශාල ඒ රළ පහරවල් වැව් බැම්මේ වැදෙන විට වැව් බැම්ම සේදී නොයවා ආරක්ෂා කළේ මේ රළ පනාවයි.

වැවක් නිර්මාණය වන්නේත් එහි දිය කඳ ආරක්ෂා වන්නෙත් එහි බැම්මෙනි.

එමෙන්ම වැවේ දිය රළවලින් ඒ බැම්ම ආරක්ෂා වන්නේ රළ පනාවෙනි.

ඛේදනීය කරුණ නම් වැව ආරක්ෂා කිරීම භාරව සිටින්නන්ට පවා ඒ බව නොතේරීමයි.

අහසින් වැටෙන එක් දිය බිඳුවක් හෝ මුහුදට නොයවා ආරක්ෂා කොට රට පෝෂණය කිරීම පිනිස මහා පරාක්‍රමබාහු රජු විසින් ශ්‍රි ලංකාවට දායාද කළ පරාක්‍රම සමුද්‍රයට වඩා ඇවිදින මංතීරුවක් රටකට අවශ්‍ය වන්නේද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]