සීනිවලින් පාරිභෝගිකයා සූරා කන්නේ කවුද ?

සීනිවලින් පාරිභෝගිකයා සූරා කන්නේ කවුද ?

by Staff writer 26-08-2021 | 9:55 PM

COLOMBO (NEWS1ST) :  මේ දිනවල මෙරට පාරිභෝගිකයන් මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ වැඩිම මිලකට සීනි මිල දී ගැනීමට සිදුව ඇති කාලයටයි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි පරිභෝජනය ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ 500කි. මේ අවශ්‍යතාව වෙනුවෙන් රට තුළ නිෂ්පාදනය කෙරෙන්නේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 100ක් පමණක් වන අතර ඉතිරිය ආනයනය කරන්නේ, පිටරටිනි. ආණ්ඩුවම පවසන පරිදි මේ සීනි ඒකාධිකාරය බෙදී තිබෙන්නේ සමාගම් 12ක් අතරයි. ආනයනික සීනී කිලෝවක් මත පැනවූ රුපියල් 50 ක බද්ද සත 25 ට අඩු වීමත් සමග 2020 ඔක්තෝබර් 13 වැනිදා මෙම සමාගම්වලට වාසනාවක් පෑදුනේ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ, බද්ද ඉවත් කිරීම යනුම ජාවාරමක ප්‍රතිඵලයක් බවයි. තව ද බද්ද අඩු කිරීමෙන් පාරිභෝගියාට කිසිදු වාසියක් නොලැබුණ බවත් රජයට බදු මුදල අහිමිවූබව ත් ඔහු සඳහන් කළේ ය. ඊළඟට රජය සිදු කළේ කුමක්ද ? මැයි 22දා සිට බලාත්මක වන පරිදි සිනී ආනයන බලපත්‍ර අත්හිටුවීමයි. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ, සීනි මෙට්‍රික් ටොන් අනූ දහසක් රට තුළට ආනයනය කර තිබියදීත් ලෝක වෙළඳපොළේ සීනි මිල එහා මෙහා වුව ද ලංකාවේ සීනි මිල ඉහළ යාමේ හැකියාවක් නොමැති බවයි. තව ද සීනි මෙට්‍රික් ටොන් අනූ දහසක් ගොඩ ගසා තිබියදී මෙලෙස සීනි මිල වැඩි වෙන්නේ කෙසේ දැයි එම පක්ෂය වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි. ඒ කියන්නේ අවුරුද්දකට අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ 500 න් දැන් තියෙන තොග ලබන වසරේ මැයි මාසය දක්වා ප්‍රමාණවත් බවයි. එසේ නම් සීනි හිඟයක් නැහැ . එහෙම තත්ත්වයක සීනි මිල අසාමාන්‍ය ලෙස වැඩි වෙන්නේ කොහොමද? මේ පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන ඒ පිළිබඳව සිදු කළ පැහැදිලි කිරීම..
''ඒකට හේතුව හැටියට අපි දකින්නේ. රටේ සීනී ආනයනය තාවකාලිකව නවත්තලා තියෙන්නේ. මේ තියෙන තොග තමයි මාකට් එකට දාන්නේ. දැනට පාරිභෝගික අධිකාරිය සීනි පිළිබඳ ගැසට් එක අයින් කරලා තියෙනවා. අපි නියාමනයක් කරන්න මිලක් පනවලා නැහැ නේ. තිබිච්ච එක අයින් කළා..''
කෙසේ වෙතත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, රු. 200 ට අලෙවි කරන්නේ, රු.105 ට ලබා දිය හැකි සීනී බවයි.
''අද 105 ට දෙන්න පුළුවන් සීනී තමයි 200 දක්වා ලබාදෙන්නේ. කිලෝ එකෙන් රුපියල් 100 කට වැඩි ලාබයක් ලබාගන්නවා. අපිට විශේෂයෙන් අපි දන්නවා. මේ රටේ සීනී ආනයනකරුවන් 12 දෙනෙකු විතරයි ඉන්නේ. ගබඩා තිබෙන තැන් දන්නවා තිබෙන ප්‍රමාණයන් දන්නවා. නමුත් තිබෙන නීතිය තුළින් මෙම ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න බැහැ. අපිට මේක කියලා නිකන් ඉන්න බැහැ. ඒ හින්දා තමයි අපි පාර්ලිමේන්තුවට දැන් පනතක් ගැසට් කරලා තියෙන්නේ මේක දැඩි මුදල වැඩි කරන්න නමුත් තිබෙන නීතීය තුලින් මෙම ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න බැහැ. අවුරුදු 18 කට පස්සේ මෙම නීතීය වෙනස් කරන්න අපි කටයුතු කරලා තියෙනවා''
රාජ්‍ය මුදල් කාරක සභාවේ දී අනාවරණය වූ පරිදි සීනි බදු වංචාවෙන් රජයට අහිමි වූ බව කියන මුදල රුපියල් බිලියන 15 කි. දැන් සිදුවන්නේ එලෙස ගෙන්වූ සීනි මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ගේ සාක්කු හිස් වීමයි.