ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය ලංකාගමට

ලංකාගමට ධාරාණිපාත වැසි... ඉදිරි පැය 24 ප්‍රදේශ රැසකට තද වැසි ඇති වන බවට ත් අනාවැකි

by Staff writer 26-08-2021 | 9:21 AM

COLOMBO (NEWS1ST) :  අද (26) උදෑසන 7.00 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල, ලංකාගම ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ.

එම අගය මිලිමීටර් 117 කි. ගාල්ල, නෙලුව ප්‍රදේශයට මිලිමීටර් 82 . 5 ක වර්ෂාපතනයක් ද, කොළඹ බත්තරමුල්ලට මිලිමීටර් 50 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර ප්‍රදේශ රැසකට අද දිනයේ ත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව , මධ්‍යම පළාත සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 වැඩි තද වැසි ඇති විය හැකි බවයි. මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ත් ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස 2 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ රංගල, එලගොල්ල කඳු ප්‍රදේශයේ ගල් පෙරලීමේ අවදානමක් මතුව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසයි. මේ අනුව සිය නිවාසවලට ද අනතුරුදායක තත්ත්වයක් ඵල්ලවෙමින් ඇතැයි, ද ප්‍රදේශවාසීහු පවසති.