පරාක්‍රම සමූද්‍ර වැව් බැම්ම අවදානමේ

පරාක්‍රම සමුද්‍රයේ රළපනාව වනසමින් ඇවිදින මංතීරුවක් සැකසීමේ අමනෝඥ තීරණය කාගේද?

by Staff writer 26-08-2021 | 9:27 PM

COLOMBO (News 1st) - පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ රළපනාවේ ගල් සමතලා කර එහි ඇවිදින මංතීරුවක් ඉදි කිරීමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

ගොවි ජනතාව පවසන්නේ, මෙම ඉදිකිරීම, පරාක්‍රම සමුද්‍ර වැව විශාල අනතුරකට හෙළීමක් බවය. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්ෂාවට යොදා තිබෙන රළපනාවේ ගල්, වැව තුළට ඩෝසර් කර වැව් බැම්ම මතින් ඇවිදින මංතීරුවක් ඉදි කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම ඇවිදින මංතීරුව අඩි 08ක් පළල සහ කිලෝමීටර් එකයි මීටර් 700ක් දිගට දිසාපති නිල නිවස අසළ සිට පරාක්‍රම සමුද්‍රයේ අංක එකේ සොරොව්ව අසළ ඇති ඩී.එස්.සේනානායක පිළිරුව දක්වා ඉදිකිරීමට යෝජිතය. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර රුපියල් මිලියන 34ක් ඊට වැයවන බවට ඇස්තමේන්තු කර තිබේ. මෙම ඇවිදින මංතීරුව කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් අඩි 08ක පළලින් යුතුව වැව් බැම්මේ ඇතුළු පැත්තෙන් ඉදිකිරීමට නියමිතය. මේ වන විටත් ජේ.සී. බී. යන්‍ත්‍ර යොදා ගනිමින් එහි මීටර් 700ක් පමණ රළපනා ගල් පහළට තල්ලු කර සමතලා කරමින් තිබෙන ආකාරය අපට දක්නට ලැබුණි. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දරා සිටින අක්කර අඩි 116,000 ක මහා ජල කඳ මෙම වැව් බැම්මේ රළපනාව නිසා ආරක්ෂා වී තිබෙන අතර ඇතැම් කාලවල දී ඇතිවන දැඩි සුළං සහිත තත්ත්වය නිසා මහ මුහුදේ රළගෙඩි තරම් විශාල රළ පහරවල් වැව් බැම්මේ වැදෙන බව ගම්වාසීන් පවසති. 2013 වසරේ මහා ගංවතුර අවස්ථාවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම දැඩි අවදානමක පැවති බවත් ඇතැම් තැනක වැලි කොට්ට ගැසීමට පවා සිදු වූ බවත් ඒ තරම් අවදානමක් තිබියදීත් මෙසේ ඇවිදින මංතීරු වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ රළපනාවට හානි කිරීම පොළොන්නරුවේ ගොවි ජනතාවත් හදවත බදු වැව විනාශ කිරීමක් බවත් ඔවුන් අවධාරණය කරයි. මේ පිළිබඳව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්. අරුණ කිර්ති මහතාගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ, ගොවි ජනතාවගේ විරෝධය මැද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකවන බවය. මේ පිළිබඳව පොළොන්නරුව කලාපය භාර වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එම්.ඩබ්. රත්නසිරි මහතාගෙන් ද නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මෙම ඇවිදින මංතීරුව සකස් කිරීම පිළිබඳව යෝජනාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් අනුමැතිය ලබා දී ඇති බවය. මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ද අවසර ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත් පොළොන්නරුවේ ගොවි ජනතාව පවසන්නේ, ගොවි සංගම් නායකයින් නිහඬ කර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙහි කොන්ත්‍රාත්තුව ලබාගෙන වැව විනාශ කරමින් තිබෙන බවය. මේ පිළිබඳව පොළොන්නරුව දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි මහතාගෙන් අප කළ විමසුමක දී ඔහු සඳහන් කළේ, නාගරික සංවර්ධන අධිකාරියේ යෝජනාවක් අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් සිදු කරන මෙම ඉදිකිරිමෙන් වැව් බැම්මට හානියක් සිදු නොවන බවය. ඔහු පැවසුවේ, ගොවිජන සේවා හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සඳහා අනුමැතිය ලබා දී ඇති අතර වැව් බැම්මට සෑම දිනකම පැමිණෙන ජනතාවගේ පහසුව සඳහා මෙම ඇවිදින මංතීරුව ඉදි කිරීමට අනුමැතිය ලබා දී ඇති බවය. අහසින් වැටෙන එක් දිය බිඳුවක් හෝ මුහුදට නොයවා ප්‍රයෝජනයට ගන්නැයි ජාතියට ඉගැන්වූ මහා පරාක්‍රමබාහු රජතුමා මේ ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ එතුමාගේ ඒ උතුම් පරමාර්ථය යථාර්ථයක් කරමිනි. මහා ජලකඳක් දරාගෙන රජරට කෙත්වතු සරු කළ මේ මහා ජලාශය මහා පරාක්‍රම සමුද්‍රය යයි නම් ලැබුවේ එහි මහ ජලකඳ තුළින් සමුද්‍රයක් මෙන් රළ නැගී බිඳෙන නිසාවෙනි. ඒ නැගෙන දිය රැළිවලින් වැව් බැම්ම සේදී නොයවා ආරක්ෂා කළේ මේ රළපනාවයි. වැවක් නිර්මාණය වන්නේත් එහි දිය කඳ ආරක්ෂා වන්නෙත් එහි බැම්මෙනි. එමෙන්ම වැවේ දිය රළවලින් ඒ බැම්ම ආරක්ෂා වන්නේ රළපනාවෙනි. මේ ඇවිදින මංතීරුව ඉදිකරන්නේ වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන් සතුව තිබූ ඒ විශිෂ්ට දැනුමට නින්දා කරමිනි. මෙවන් ලෝක උරුමයක් තුළ ඇවිදින මංතීරුවක් සැකසීමේ අමනෝඥ තීරණය කාගේද?