කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96000ක් ආනයනයට

කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට රජය තීරණය කෙරේ..

by Staff writer 26-08-2021 | 9:58 PM

COLOMBO (News 1st) - කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට රජය තීරණය කර තිබේ.

කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, ඒ අනුව නයිට්‍රිජන් 10% ක් අඩංගු කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000ක් ආනයනයට පියවර ගෙන ඇති බවය. මීට අමතරව නයිට්‍රිජන් 15% ක් සහ ඇමෝනියා අම්ලය 80% කින් සමන්විත පොහොර කුඩු මෙට්ට්‍රික් ටොන් 3000 ක් ද ආනයනය කිරීමට නියමිතය. එම පොහොර තොගය ලබන මස 25 වැනිදායින් පසු මෙරටට ලැබීමට නියමිත අතර චීනයෙන් අදාළ තොග ඇණවුම් කර ඇතැයි, අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මෙරටට ලැබෙන කාබනික පොහොර තොග ඉදිරි මහ කන්නය වෙනුවෙන් වී වගාවට පමණක් නිකුත් කිරීමට දැනට තීරණය කර ඇති බවය. මේ අතර සෙසු බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනයට අවසර ඉල්ලා සමාගම් 30ක් මේ වනවිට ඉල්ලුම් පත්‍ර යොමු කර තිබේ. ඒ, අපනයන සංවර්ධන මණ්ඩලයේ ජාතික කාබනික පාලන ඒකකයේදීය. කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා පැවසුවේ, අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර ආනයනයට, ආනයනකරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාපටිපාටිය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බවය.