පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

by Sagarika Chathumali 25-08-2021 | 5:45 PM

COLOMBO (NEWS1ST) :  පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බවයි. එනම්, 1. 2017 .03.10 දින හෝ ආසන්න දිනයක සහරාන් විසින් ඔවුන්ගේ මතයට විරුද්ධව ක්‍රියා කළ කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල   යාඥා කරන තැනැත්තන්ට එරෙහිව පහරදීම් සිදු කිරීම. 2. 2018.02.06 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවසකට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. 3. 2018.02.12 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි ප්‍රදේශයේ දේශපාලන කාර්යාලයකට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම. 4. 2018.05.07 දින හෝ ආසන්න දිනයක නුවරඑළිය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම පිළිබඳව කරන ලද වමිර්ශනය. 5. 2018 .08. 26 දින හෝ ආසන්න දිනයක පුපුරණ ද්‍රව්‍ය මගින් සිදුවූ බවට සැක කළ හැකි තුවාල සහිතව රිල්වාන් නමැති ආයකු ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි බවට වූ වාර්තා පිළිබඳව සිදු කළ විමර්ශන. 6. 2018.11. 30 දින හෝ ආසන්න දිනයක මඩකලපුව - වව්නතිව් පොලිස් මාර්ග බාධක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු ඝාතනය කර ඔවුන්ගේ ගිනිඅවි පැහැර ගැනීම. 7. 2018.12.25 දින හෝ ආසන්න දිනයක මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා කිහිපයකට හානි සිදු කිරීම. 8. 2019.01.16 දින හෝ ආසන්න දිනයක පුත්තලම - වනාතවිල්ලුව ප්‍රදේශයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය සමග පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම. 9. 2019.03.09 දින හෝ ආසන්න දිනයක මාවනැල්ල ප්‍රදේශයේදී තස්ලිම් යන අයට වෙඩි තබා තුවාල කිරීම. 10. 2019 . 04.16 දින හෝ ආසන්න දිනයක කාත්තන්කුඩි - පාලමුණේ ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හැරීම. මෙම සිදුවීම් පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙන්ම විවිධ පොලිස් ස්ථාන මටට්මින් සිදු කර තිබුණේ, ඒවා එකිනෙකට හුදකලා සිදුවීම් ලෙස සලකා මතුපිටින් පෙනෙන කරුණුවලට පමණක් සීමා වෙමින් බව ද පොලිස්පතිවරයා සඳහන් කළේ ය. එසේම එම සිදුවීම්වලට අදාළ විමර්ශන සිදුකරන අංශ හෝ බුද්ධි තොරතුරු රැස් කරන අංශ වෙන් වෙන්ව හා හුදකලා ලෙස විමර්ශන කළ ද බුද්ධි අංශවලට සහ ත්‍රස්ත මර්දන හා අනෙකුත් විමර්ශන කොට්ඨාස වෙත ලැබූ තිබූ තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය කර හුවමාරු කර ගනිමින් නිසි සම්බන්ධීකරණයක් නොපැවැත්වීම හේතුවෙන් මෙම සිදුවීම් අතර තිබූ සම්බන්ධතාවයන් අනාවරණය කර ගැනීමේ අවස්ථාව ගිලිහී ගොස් තිබූ බව ද පොලිස්පතිවරයා සිය ප්‍රකාශයේදී වැඩිදුරටත් පැවසී ය. තව ද පොලිස්පතිවරයා පැවසුවේ, පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධව මුල් අවස්ථාවේ විමර්ශන සිදු කළ අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ අංශ අතර නිසි සම්බන්ධීකරණයක් සිදු නොවුණු බවත් එක් අංශයකින් සියලු සිද්ධීන් ගැඹුරින් විමර්ශනය සිදු කර නොතිබූ බවයි. එසේම අදාළ සැකකරුවන් කෙටි කාලයක් තුළදී සොයාගෙන විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ අරමුණින් විමර්ශන සිදු කිරීම මත එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන් එම අපරාධ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කර නිවැරදි කරුණු අනාවරණය කර ගැනීමට ද අපහොසත් වී ඇති බවත් අපරාධ සිදුකළ තැනැත්තන් බොහාමයක් මියගොස් ඇති බව සහ ඊට ඝෘජුවම අනුබල දුන් තැනැත්තන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව සහ අපරාධයට සම්බන්ධ දේපළ සියල්ල භාරයට ගෙන ඇති බව තීරණය කර ඒ සම්බන්ධ විමර්ශන අවසන් කිරීමට උත්සුක වී තිබූ බවත් මෙම ප්‍රකාශයේදී පොලිස්පතිවරයා පැවසී ය. නව ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු සිය මෙහෙයවීම යටතේ විමර්ශන ආරම්භ කරමින් විමර්ශනවලදී හඳුනාගත් අඩුපාඩු සහ අවධානය යොමු නොකළ පැතිකඩ පිළිබඳ සහ විමර්ශන කළ යුතු ක්‍රමවේද පිළිබඳව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන් බව පොලිස්පතිවරයා පැවසී ය. පොලිස්පතිවරයා පැවසුවේ, නව විමර්ශන කණ්ඩායම විසින් 2014.06.29 වන දින සිට පාස්කු ප්‍රහාරය දක්ව සහ එයට පසු කාලය සඳහා ද දුරකතන විශ්ලේෂණ සිදු කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ද සහය ලබා ගනිමින් ගැඹුරු විමර්ශනයක් සිදු කිරීම ආරම්භ කළ බව ත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරයට පෙර සිදුවීම් සියල්ල හුදකලා සිදුවීම් නොවන බව පෙනී ගිය බවයි. තව ද විමර්ශනවලදී මෙම ප්‍රහාර මාලාව සිදු කිරීම සඳහා අන්තවාදී මතවාදයන් පැතිරවූ දේශීය විදේශීය පුද්ගලයින් , මුදල් ආධාර සැපයූ පුද්ගලයින්, දේශීය හා විදේශීය පුහුණුවීම් සඳහා ස්ථාන හා පහසුකම් සැපයූ පුද්ගලයින් , දේශපාලන බලතල පාවිච්චි කර මෙම මතවාද වර්ධනය කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් සහ අනාගතයේ මෙම මතවාද වර්ධනය කර ගැනීම සඳහා පිරිස්, මානසික වශයෙන් හැඩ ගැස්වීම් ක්‍රමවේදයන් සකස් කළ බුද්ධිමතුන් රැසක් හෙළිදරව් කර ගැනීමට හැකි වූ බව ද ප්‍රකාශ විය. ඒ අනුව නව විමර්ශන යටතේ : ?පුද්ගලයින් විශාල පිරිසකගෙන් ප්‍රශ්න කිරීම. ?සැකකරුවන් 723 ක් අත්අඩංගුවට ගැනීම, ඉන් 311 ක් තවදුරටත් රඳවා තබා ගෙන හෝ රිමාන්ඩ් භාරයේ තබාගෙන විමර්ශන සිදු කරමින් පැවතීම. ?විවිධ ලේඛන විශාල සංඛ්‍යාවක් භාරයට ගැනීම. ?දුරකතන අංක ලක්ෂයකට අධික ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීම. ?බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක් විමර්ශනයට ලක් කර ත්‍රස්තවාදී පුද්ගලයින්ගේ හා ඔවුන්ට ආධාර ලබාදුන් තැනැත්තන්ගේ වත්කම් රැසක් රාජසන්තක කිරීමට මේ විටත් පියවර ගැනීම. ඒ අනුව රුපියල් මිලියන 365ක් පමණ වටිනා මුදල් ,චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කර ඇති අතර රුපියල් මිලියන 168 ක් පමණ වටිනා මුදල් දේපළ තහනමට ගෙන තිබේ. ත්‍රස්වාදී සිද්ධි ජාලයට අදාළව විමර්ශන අවසන් කර පාස්කු දින සිදුවූ ප්‍රහාර සිද්ධි අටට අදාළව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩුව ද ඇතුළුව මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා 11 ක් විත්තිකරුවන් 46කට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු ගොනු කර තිබේ. පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන ගොනු 100 කට අධික ප්‍රමාණයක් විමර්ශන අවසන් කර නීතිපතිවෙත යොමු කර ඇති බවත් ඊට අදාළව අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් එම ගොනු අධ්‍යනය කරමින් සිටින බවත් පොලිස්පතිවරයා සඳහන් කළේ ය. තවද පොලිස්පතිවරයා පැවසුවේ, ප්‍රහාරයට ඝෘජුව සම්බන්ධ නොවූවත් ඒ සඳහා පසුබිම සකස් කළ යමෙකු සිටී ද යන්න සම්බන්ධව තොරතුරු සොයා ගැනීම සඳහා තවත් විමර්ශන සිදුවෙමින් පවතින අතර ඒවායේ විමර්ශන තවම අවසන්ව නොමැති බවයි. පාස්කු ප්‍රහාර මාලාවට ඉවහල්වූ මතවාද රට තුළ ව්‍යාප්ත කිරීමට හා එයට සම්බන්ධිත සිද්ධි මාලාවට අදාළව අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් අතර උගතුන්, බුද්ධිමතුන් විවිධ වෘත්තිකයින් සහ සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලියින් ද සිටින බවත් ඒ අනුව විමර්ශනයේ සුළු අඩුපාඩුවක් වුවද ඔවුන්ගේ වාසියට හේතුවිය හැකි බැවින් සියලු විමර්ශන ඉතා රහසිගතව අවසන් අදියර තෙක් සිදු කිරීමට සිදුවන බව පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේ ය. තවද පොලිස් පතිවරයා වැඩිදුරටත් අවධාරණ කර සිටියේ , මෙම විමර්ශන සඳහා තමා වෙත හෝ තමන්ගේ විමර්ශන කණ්ඩායම් වෙත කිසිදු බාහිර බලපෑමක් සිදුවී නෙමැති බවත් එවැනි බලපෑමක් සිදු කිරීම සඳහා තමා විසින් ඉඩ නොදෙන බව සහ කිසිදු බලපෑමකට තමා හො විමර්ශන කණ්ඩායම් යටත් නොවන බව ත් ය. ඒ අනුව විමර්ශන අවසානයේදී පස්කු ප්‍රහාරය හා ඊට සම්බන්ධ සිද්ධි මාලවට ඝෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ , ආධාර අනුබල දුන්, සහය දුන් හා පෙළඹවීම් කළ සෑම දෙනාටම එරෙහිව අධිකරණය හරහා නීතිය පසඳලමින් සාධාරණත්වය අවම කාලයක් තුළ ඉටු කිරීමට සියලු විමර්ශන සහ එයට අදාළ අනෙකුත් දේ පොලීසිය විසින් සිදු කරන බව ද පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ ය. පොලිස්පතිවරයා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්....

 

  https://www.youtube.com/watch?v=5qXWDZ13KG0