ජනපතිට නිර්දේශ සහ උපදෙස් ලබාදීමට මණ්ඩලයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට උපදේශක මණ්ඩලයක්

by Sagarika Chathumali 25-08-2021 | 3:32 PM

COLOMBO (NEWS1ST) : ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදේශක මණ්ඩලයක් පත් කරනු තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්ව‍යෙන් යුත් මෙම උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව සහ විශ්‍රාමලත් සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් යන මහත්වරුන් පත් කර ඇති බවයි. ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සහ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම, නිදහස් කිරීම, ඇප ලබාදීම ඇතුළු ඉදිරි තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට නිර්දේශ සහ උපදෙස් ලබාදීම මෙම මණ්ඩලයෙන් අපේක්ෂිත ය. දීර්ඝ කාලයක සිට උපදේශක මණ්ඩලයක් පත් කර නොතිබීම හේතුවෙන් මෙතෙක් සිරගතව සිටින පිරිසට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොතිබූ බවත් මෙම උපදේශක මණ්ඩලය පත් කිරීමත් සමග එම සිරකරුවන්ට ඔවුන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බව ත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත්  සඳහන් ය.