T20 තරගාවලි⁣යේ ශූරතාවය ග්‍රේස් පිලට..

චන්දිමාල්ගේ රෙඩ්ස් පිල පරාජය කළ දසුන්ගේ ග්‍රේස් පිලට ශ්‍රී ලංකා ක්‍රිකට් T20 තරගාවලි⁣යේ ශූරතාවය..

by Chathuranga Rajapaksha 25-08-2021 | 2:39 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ, ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ, ශූරතාවය හිමිකර ගැනීමට දසුන් ශානකගේ නායකත්වය ලබා දුන් ග්‍රේස් කණ්ඩායම සමත් විය. ඒ, ඊයේ (24) රාත්‍රියේ දිනේෂ් චන්දිමාල් නායකත්වය දුන් රෙඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 42ක ජයක් ලබා ගැනීමත් සමගිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 201 ලබා ගැනීමට සමත් විය. මිනුත් භානුක පන්දු 51කදී ලකුණු 74ක් ද, දසුන් ශානක පන්දු 17කදී ලකුණු 48ක් ද ලබා ගනිමින් ග්‍රේස් කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබීමට සමත් විය. රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් අකිල ධනංජය තම පන්දු වාර 4 තුළ ලකුණු 24‌ට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය . ජයග්‍රහණය සඳහා ලකුණු 202ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි රෙඩ්ස් කණ්ඩායමට, පන්දුවාර 19යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 159ක් පමණි. රෙඩ්ස් ඉනිම වෙනුවෙන් ඕෂධ ප්‍රනාන්දු පන්දු 27 කදී ලකුණු 46 ලබා ගැනීමට සමත් විය . පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ ග්‍රේස් කණ්ඩායමේ නුවන් ප්‍රදීප් ලකුණු 17කට කඩුලු 02ක් සහ පුලින තරංග ලකුණු 27 කඩුලු 02කුත් මතීෂ පතිරණ ලකුණු 28ට කඩුලු 02කුත් දවා ගැනීමට සමත් විය. ඒ අනුව, මෙවර තරගාවලියේ කිසිදු තරගයක් පරාජයට පත් නොවී ශූරතාවය දිනා ගැනීමට ග්‍රේස් කණ්ඩායම සමත් විය.