කොරෝනා මරණ වැඩි වෙන්නේ ඇයි?

කොරෝනා මරණ වැඩි වෙන්නේ ඇයි?

by Staff writer 25-08-2021 | 9:38 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් වාර්තා වන කොරෝනා මරණයන්ගෙන් 20 % කට ආසන්න ප්‍රමාණයක් ගෘහස්තව හෝ රෝහල්ගත කිරීමට ප්‍රථමව සිදුවු මරණ බව වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පෙන්වා දෙයි.

ඒ අගෝස්තු මස 13 වැනිදා දක්වා මෙරටින් වාර්තා වු කොරෝනා මරණ පිළිබදව අවධානය යොමු කිරීමේදී ය. වසංගත රෝග විද්‍යා ඒකකය අවසන් වරට නිකුත් කර ඇති විශ්ලේෂණයට අනුව අගෝස්තු 13 වැනිදා දක්වා කාලය තුළ මෙරට සිදුව ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,775 කි. ඉන් මරණ 4661 ක් සිදුව තිබුණේ, රෝහල් තුළදී ප්‍රතිකාර ලබමින් සිටියදීයි. කොරෝනා ආසාදිතයින් රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී හෝ ගෙන එන අතරතුර මියගොස් තිබු සංඛ්‍යාව 362 කි. ඊට අමතරව මෙරට කොරෝනා මරණ අතරින් 12.9% ක් එනම් පුද්ගලයන් 745 දෙනෙකු නිවෙස් තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවල සඳහන් ය. ඒ අනුව අදාළ කාල සීමාවේ මෙරට කොරෝනා මරණවලින් 19.2 %ක් නිවෙස් තුළදී සහ ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කෙරෙන අවස්ථාවේදී සිදුව ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජීත් බටුවන්තුඩාව මහතා පවසන්නේ, නිවෙස්ගත රැක බලා ගන්නා රෝගීන් මෙන්ම අනෙකුත් කණ්ඩාම් තමන්ගේ රෝග ලක්ෂණ ගැන ඉතාම උනන්දුවෙන් සොයා බැලිය යුතුව ඇති බවයි. තව ද හතිය වැනි තත්ත්වයක් ඇති වූ වහාම රෝහලකට පැමිණෙන ලෙසත් දරුණු රෝග ලක්ෂණ මතුවීමට පෙර රෝහල්ගත වීම ඉතාම අත්‍යාවශ්‍ය බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. දෛනිකව හඳුනාගත් කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව 4,000 ඉක්වමින් ඊයේත් ආසාදිතයින් 4,427 දෙනෙකු හඳුනා ගැනිණ. දෛනිකව අසාදිතයින් 4,000 ඉක්මවා ගිය තුන්වැනි දිනය මෙයයි. තවත් කොවිඩ් මරණ 190 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර එම මරණ සිදුව ඇත්තේ පසුගිය 23 වැනිදායි. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 7,750 ක් දක්වා ඉහළ ගියේය . මෙරටින් වාර්තාවන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවා ගියේ ය. ඒ, ප්‍රමාදවී වාර්තාවූ අසාදිතයින් පිළිබඳ පසුගිය දින 4 හි දත්ත ඇතුළත් කිරීමත් සමගයි.

මරණ වැඩි වෙන්නේ ඇයි?

අද වනවිට 60 ට වැඩි අයට එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය දැඩි ප්‍රමාදයක් ඇති බවත් එය මුල් කරගෙන රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවුසවේ, එන්නත් ලබා දීමේ මුලික කාර්ය භාරය සිදුකරන වසංගත රෝග අංශය එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් නිසි ආකාරයෙන් ලබා නොදෙන බවක් පෙන්නුම් කරන බවයි.
''දැන් අපි දකිනවා මේ වනවිට රෝහල්වල එන්නත් ලබා දීමේ හැකියාව තියෙනවා. නමුත් මේ රෝහල්වල වෛද්‍යවරුන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ මුලිකත්වයෙන් රෝහල්වල එන්නත් ලබා දීමේ කාර්යට අවශ්‍ය එන්නත් ප්‍රමාණය නොලැබෙනවා නොලැබීටම් ප්‍රවණතාවයක් තියෙනවා ඒ සප්ලයි චේන් එක එහෙම නැත්තම් ඒ එන්නත් ලබා දීමේ ක්‍රමවේදය තුළ විශාල අර්බුදයක් තියෙනවා''
ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවුසවේ, ලෝකයේ ජනගහනයට සාපේක්ෂව කොවිඩ් මරණවලින් ඉදිරියෙන්ම සිටින රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.