පොලිස් අත්අඩංගුවේදී මියගිය පුද්ගලයාට කොරෝනා

මතුගම පොලීසියේදී මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙක්...

by Staff writer 24-08-2021 | 9:25 PM

COLOMBO (NEWS1ST) : මතුගම පොලීසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන සිටියදී මියගිය පුද්ගලයා ‍කොවිඩ් ආසාදනය වීමෙන් ඇති වූ සංකූලතාවයක් මත මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසුවේ, මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කළුතර දිස්ත්‍රික් මහරෝහලේදී අද (24) පැවැත්වුණු බවයි. මියගිය පුද්ගලයාගේ සිරුරේ අභ්‍යන්තර හෝ භාහිර තුවාල නොමැති බවට නිරීක්ෂණය වී ඇතැයි, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වාර්තාවේ සඳහන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව මතුගම මහේස්ත්‍රාත් හමුවට අද (24) පස්වරුවේ ඉදිරිපත් කෙරිණ. නීතිවිරෝධී මත්පැන් අළෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මතුගම පොලීසිය විසින් පෙරේදා දහවල් සැකපිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව දුටු පුද්ගලයෙකු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේ ය.
''බිත්තිය අයිනේ කොස්ස තිබුණා. කොස්ස අරගෙන ගැහුවා. පාරවල් දෙකක්, ඊට පස්සේ කම්මුලට පාරවල් දෙකක් ගැහුවා. ඊට පස්සේ විල් එකේ දාගත්තා ගියා''
මේ අතර මියගිය පුද්ගලයාගේ බිරිඳ ද සිය සැමියාගේ මරණ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා ය.
''6 වෙනකං පොලිසියේ තියාගත්තා. කිව්වා එයාට හොඳමට අමාරුයි. හාට් ඇටැක් එකක් කිව්වා. මම කිව්වා එච්චර අමාරුවක් නැහැ. ලෙඩක් නැහැ. කියලා, ඊට පස්සේ කිව්වා එයාට හාට් ඇටැක් එකක් ඇවිල්ලා තියෙන්නේ එයාට ගොඩක් අමාරුයි, දැන් එයා ඉස්පිරිතාලේ ඉන්නෙ කියලා. ඉස්පිරිතාලේ කිව්වාට පස්සේ කොහේද කියලා කිව්වේ නැහැ මට, උන් ගැහුවා ගහලා මගේ මිනිහාව මැරුවා''
පොලීසිය පැවසුවේ, නීතිවිරෝධී මත්පැන් අළෙවි කිරීම සම්බන්ධයෙන් සැකපිට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිටියදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මතුගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි. රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ, අදාළ පුද්ගලයා රෝහල වෙත රැගෙන එන විටත් මියගොස් සිටි බවයි. මෙලෙස මියගියේ 40 හැවිරිදි මතුගම යටිදොලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.