ප්‍රජාතන්ත්‍රවාදී නූතනවාදියාණෙනි, ඔබට සුබ ගමන්...!

by Staff writer 24-08-2021 | 8:38 PM

COLOMBO (NEWS1ST) :  හිටපු අමාත්‍ය අද (24) පෙරවරුවේ මංගල සමරවීර මහතා අභාවප්ප්‍රාප්ත විය.

ඒ කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මංගල සමරවීර මහතා අභාවප්ප්‍රාප්ත වන විට 65 වියේ පසුවිය. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගඋපදේශයන්ට අනුකූලව අද (24) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මේ නිවුස්ෆස්ට් ඔහු පිළිබඳ තබන සටහනක්... 1956 වසරේ මහානාම සමරවීර සහ ඛේමා සමරවීර යන දෙපළට දාව මෙලොව එළිය දුටු මංගල සමරවීර මහතා උපතින්ම දේශපාලනය උරුම කරගන පැමිණි අයෙකි. ඔහුගේ පියා වූ මහානාම සමරවීර මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයේ පළාත් පාලන නිවාස සන්නිවේදන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයායි. ඔහුගේ මව ද මාතර මහ නගර සභාවෙන් කලක් ජනතා සේවයට සම්බන්ධ වූ කාන්තාවකි. කොළඹ රාජකීය විද්‍යාලයේ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මංගල සමරවීර මහතා ලන්ඩන් හි ශාන්ත මාර්ටින් කලා විශ්වවිද්‍යාලයෙන් ඇඳුම් පැළඳුම් සැලසුම් සහ තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙක් බවට පත් විය. ඔහු ශ්‍රී ලංකා ජාතික සැලසුම් මධ්‍යස්ථානයේ සැලසුම් උපදේශකවරයෙකු ලෙස ද කලක් සේවය කළේ ය. කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද ඔහු සිය සේවය සැලසී ය. සිය පියාගෙන් උරුම වූ දේශපාලනයට මංගල සමරවීර මහතා එළැඹෙන්නේ, 1983 වසරේදී මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමිනි. පසුව ඔහු පක්ෂයේ ඉදිරිපෙළ දේශපාලනයේ නිරත විය. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු පළමු වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වේ. සමරවීර මහතාගේ දක්ෂතා එළි දකින්නට වූයේ 1994 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ කැබිනට් මණ්ඩලයට තේරී පත්වීමත් සමගයි. එතැන් සිට නාගරික සංවර්ධන, ඉදිකිරීම් , සන්නිවේදන , තැපැල් හා විදුලි සංදේශ, මහජන උපයෝගීතා මෙන්ම මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද යන කැබිනට් විෂයන් භාරව ඔහු කටයුතු කළේ ය. මෙරට ඉතා නොදියුණු තත්ත්වයක පැවති සන්නිවේදන ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් එහි විප්ලවීය වෙනසකට නායකත්වය දුන්නේ මංගල සමරවීර මහතායි. එමෙන්ම මාතර දිස්ත්‍රික්කය තුළ ඉතිහාසයේ නොවු විරූ සංවර්ධනය උරුම කර දුන්නේ ද මංගල සමරවීර මහතාගේ නායකත්වය යටතේයි. මේ අතරම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද විවිධ තනතුරු දරමින් පක්ෂයට සිය සේවය ඉටු කළේ ය. 2001 මැතිවරණ පරාජයෙන් පසුව ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙසත් පක්ෂය ඉදිරියට ගෙන යාමට සිදු කළේ, අමිල මෙහෙවරකි. 2004 දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නව කැබිනට් මණ්ඩලයේ ඔහු දැරුවේ, වරාය ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරයයි. 2005 නොවැම්බරයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිටුපස සිටි යෝධ බලවේගය වුයේ ද මංගල සමරවීර මහතායි. කෙතරම් සමීප මිතුරෙක් වුවත් නායකත්වය සමග එකඟ නොවන තැනදී විරෝධය පෑම මංගල සමරවීර මහතාගේ සෘජු චරිත ලක්ෂණයක් විය. ඒ බව පසක් වන්නේ 2006 දී තමන්ම ජයග්‍රහණය කරවූ ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ විදේශ අමාත්‍යධූරය ද දරමින් සිටි ඔහු අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරියආරච්චි සමග විපක්ෂයේ අසුන් ගැනීමේ සිද්ධියෙනි. ඉන් නොනැවතුන මංගල සමරවීර මහතා එවකට පැවති දේශපාලනයට අභියෝග කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පක්ෂය වශයෙන් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කළේ ය. පසුව රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්සත් ජාතික පක්ෂ දේශපාලනයට පිවිසියේ ය. එතැන් සිට විපක්ෂ දේශපාලනයේ නිරත වූ මංගල සමරවීර මහතා තමන් විසින්ම ජයග්‍රහණය කරවූ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීමට ඉටු කළේ, දැවැන්ත මෙහෙවරකි. එම රජය යටතේ නැවත විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ඔහු සේවය කළේ ය. 2019 නොවැම්බර් 17 දා වන විට ඔහු එවකට දැරූ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණේ, රටේ දේශපාලන පෙරළිය කලින්ම හඳුනා ගනිමිනි. මංගල දේශපාලයේදී සෘජු තීරණ ගැනීමට කිසිවිටක පසුබට නොවී ය. සියල්ලන්ම විමතියට පත් කරමින් 2020 ජුනි මාසයේදී ඔහු අගෝස්තු 5 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකරන බව නිවේදනය කළේ ය. එපමණකින් නොනැවතී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ අංකයට මනාප ලබා නොදෙන ලෙසයි. දේශපාලනයේදී ඔහු සැමවිටම සංවාදාත්මක චරිතයකි. තමා දරන අදහස් සෘජුව පැවසීමටත්, අනෙකාගේ අදහස් හා සංවාද කිරීමටත් මංගල සමරවීර සැමවිටම විවෘතයි. ඔහු ලිබරල්වාදියෙකි. මංගලගේ දේශපාලන ප්‍රතිවාදීහු පවා ඔහුගේ මේ ගුණාංගවලට හා ප්‍රතිපත්තිවලට ගරු කළහ. මංගල හැමවිටම අලුත්වන ලෝකයත් සමග නවීකරණය වූ නූතනවාදී දේශපාලනඥයෙකි. නිර්මාණශීලීත්වය ඔහු තුළ තිබූ ජීව ගුණයයි. මිය යාමට දින කිහිපයකට පෙරත් ඔහු නූතනවාදී තරුණ දේශපාලනයක් ආරම්භ කිරීමට පෙනී සිටියේ ය. ප්‍රජාතන්ත්‍රවාදී නූතනවාදියාණෙනි, ඔබට සුබ ගමන්...!