ජීවිත බේරා දෙන්නට අමිල මෙහෙයක් ඉටු කර කොවිඩ් මාරයාට ම බිලි වූ ගිලන් රථ රියැදුරු

by Staff writer 24-08-2021 | 11:14 PM

COLOMBO (NEWS1ST) :  වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ දිනවල කොවිඩ් රෝගී ජීවිත බේරා ගැනීම වෙනුවෙන් අවසාන තත්පරය දක්වා සිදු කරන්නේ අනවරත අරගලයකි.

ජීවිත සුරැකීම සඳහා ගිලන් රථයේ සුක්කානම දෑතට ගෙන එහා මෙහා ගිය රටට වැඩදායී ගිලන් රථ රියැදුරෙකුත් පසුගියදා කොරෝනා බිලිගත්තේ ය. ඒ කොවිඩ් ආසාදිතව මියගිය මෙරට පළමු ගිලන් රථ රියැදුරා ලෙස ඉතිහාසයට එක්වෙමිනි. බී.ඒ. අමරජීව මහතා රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා වසංගතය හමුවේ දිවා රෑ නොබලා, සිය ජීවිත අවදානම ද නොතකා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරන කැපවීමට අමිල උදාහරණයක් විය. ඇතැම් විට කෑමට බීමට පවා ඉස්පාසුවක් නැතිව රෝගී ජීවිත බේරා ගැනීම පමණක් ඒකායන අපේක්ෂාව වුණු අමරජීව රත්නපුර ශික්ෂණ රෝහලෙන් වාර්තා වුණු පළමු කොවිඩ් රෝගියාගේ සිට රෝගීන් ප්‍රවාහනය කළේ, සිය කැමැත්තෙනි. කොවිඩ් අභියෝගය මැද රෝගීන් වෙනුවෙන් කරන කැප කිරීම් නවතා නොදැමූ බී.ඒ. අමරජීවට අවසානයේ සිදුවුණේ කොවිඩ් මාරයාටම බිලි වීමටයි. රත්නපුර නිවිතිගල ස්ථිර පදිංචි කරුවෙකු වූ 58 හැවිරිදි අමරජීව මහතා සමන් පෙදෙසේ සිට නැවතී නොවරදවා සේවයට පැමිණියේ ය. මේ වනවිට රටේ සමස්ත රෝහල් කාර්ය මණ්ඩල මේ කොරෝනා අවදානමෙන් මිනිස්සුන්ව බේරා ගැනීමට මිල කළ නොහැකි කැප කිරීමක් සිදු කරනු ලබයි. මේ අවාසනාවන්ත මරණය සෞඛ්‍ය සේවකයින් අතර වසංගතය පැතිර යාමට තවත් සාක්ෂියකි. පුරා විසි වසරක් අඛණ්ඩව රෝහල් සේවයේ නිරතවෙමින් ගිලන් රථයෙන් රෝගීන් බේරා ගැනීමේ අරගලයේ නිරතවූ බී.ඒ අමරජීව මහතා කළ සේවය සදා අමරණීය වනු ඇති.