COLOMBO (News 1st) - ගුරු - විදුහල්පති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේ නිසැකවම රටට දැනුම් දෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ මාධ්‍ය හමුවේදීය.
ප්‍රශ්නය,
මේ ගුරු වෘත්තීය ගැටලුවට ඔබතුමන්ලා දෙන විසඳුම මොකද්ද කියල දැනගන්න කැමතියි?
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,
අපි ඊයේ කැබිනට් අනුකමිටුව විදියට විමල් වීරවංශ ඇමතිතුමා, මහින්ද අමරවීර ඇමතිතුමා ඒවගේම ප්‍රසන්න රණතුංග ඇමතිතුමා, අපි සියලු දෙනාම දින 6 කට අධික කාලයක් ඉතාම වෙහෙසකර අභ්‍යාසයක් කරා. අනුකමිටුෙව් වගකීම භාරගත්තේ හුදු දේශපාලනඥයින් විදියට විතරක් නෙමෙයි දේශපාලනඥයින්ගේ භූමිකාව ඉක්මවා යන පීතෘත්වයේ භුමිකාවත් අරගෙන. තවත් ආයතන රාශියක නිරීක්ෂණගත යුතුව තිබෙනවා. අපි මුදල් ඇමතිතුමාට මේක භාර දුන්නෙ සිකුරාදා හවස් වරුවේ. ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයේ සන්තකයේ අපේ වාර්තාව තියෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ අනෙකුත් ආයතනවල තියෙන නිරීක්ෂණත් අරගෙන අපි ලබන සතියේ නිසැකවම කැබිනට් මණ්ඩලයේ තීන්දුව මොකද්ද කියන එක අපි රටට දැනුම් දෙනවා.
ගුරු - විදුහල්පති වැටුප විෂමතාවට අද (24) දිනයේත් කැබිනට් මණ්ඩලයෙන් විසඳුමක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කෙළ් ය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං මහතා,
අද දවසේ ප්‍රකාශයක් කරනවා කියලා තිබුණා. මේ රටේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුව ගත්ත තීරණය ප්‍රකාශයට පත්කිරීම එතකොට ලංකාවේ ගුරුවරු විදුහල්පතිවරු සහ අධ්‍යාපන පද්ධතියට අදාළ දෙමාපියෝ සියලු දෙනා විශාල බලාපොරාත්තුවකින් හිටියා අද ගුරු සහ විදුහල්පතිවරුගේ වැටුප් ගැටලුවට විසඳුමක් ලබාදෙයි කියන කාරණාව. අද මොකද වෙලා තියෙන්නේ ඊයේ දවසේ කැබිනට් මණ්ඩලය තීරණය කරලා තියෙන්නේ මොකක්ද කැබිනට් අනුකමිටුව විසින් පත්කරන ලද ඒ වාර්තාව අධ්‍යයනය කරන්න කාලය ඕනේ කියලා තව සතියකට කල් අරගෙන. මොකක්ද මේකේ තේරුම මේ ඇවිල්ලා අපි දකින්නේ පස්වෙනි කැබිනට් මණ්ඩලයට ගමන් කිරීමක් හැටියට අපි දකින්නේ.