ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණයට ලක්ෂ 600ක්... වසන්ත සමරසිංහගෙන් හෙළිදරව්වක්

by Staff writer 24-08-2021 | 10:03 PM

COLOMBO (NEWS1ST) :  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලකාර්යාලය පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ 24 මහලේ හදිසි ප්‍රතිසංස්කරණයට ලක්ෂ 600ක් පමණ වැය කිරීමේ සුදානමක් ගැන දූෂණ විරෝධි හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා හෙළිදරව්වක් කළේ ය.

''දැන් ජනාධිපතිතුමා යටතේ තියෙන BOI එකේ අර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තිබෙන 24 වෙනි තට්ටුව දැන් රෙපයාර් එකක් කරනවා. ලක්ෂ 540යි බදු නැතුව. ඔක්කොම ආපුවම ලක්ෂ 600ක 700ක වියදමක් කරනවා. බදු එක්ක මොකටද, අලුතින් කණ්ඩායමක් බඳවගන්නවා. ඒ අයට පහසුකම් සහ ඉන්න අධ්‍යක්ෂක ජනරාල්වරයා සභාපතිවරයා ඇතුළු කණ්ඩායමට වැඩ කරන්න. දැන් බෝඩ් පේපර් එක අනුමත කරල යනවා ලක්ෂ හය හත්සියක් වියදම් කරලා ගොඩ නැගිලි වල තට්ටුවක් හදා ගන්න හදනවා මොකටද, තමන්ට පහසුවෙන් වැඩ කරන්න. ඒ තට්ටුවට වැඩ කරන්න එන අයට මේ වෙනකොට BOI එක ඇතුලේ බෝඩ් පේපර් එක දාල කැබිනට් මණ්ඩලයට දැන් පේපර් එකක් හදලා තියෙනවා. අවුරුද්දක පඩිය විතරක් ලක්ෂ 3800ක් මිලියන 380 කට ආසන්න පඩියක් ගෙවලා සේවකයෝ 25ක් 30ක් ගේන්න හදනවා පිටරටවල් වලින් මේ BOI එකට. දැන් රටේ මිනිස්සුන්ට කියනවා සල්ලි නෑ කියලා. මේ වෙලාවේ රටම අඩපණ වෙලා රටේම මිනිස්සු බරපතළ ප්‍රශ්නෙකට මුහුණ දීලා ආර්ථිකය දරාගන්න බැරි තරමට දුෂ්කර වෙලා. ආණ්ඩුවට ඒ දුෂ්කරතාවය දැනෙන්නෙ නැද්ද BOI එක නම් කරල තියෙන්නේ අවශ්‍යතා ඇති සේවා හැටියට අරගෙන. BOI එක තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. ඒ නිසා අපි අහනවා දැන් මේ බෝඩ් පේපර් එක අනුමත කරලා යනකොට භාණ්ඩාගාරයේ මුදල් වෙන් කරන්න ඕන. එතකොට භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලනකොට අපි අහනවා, කවුද අහන්නේ මේ වෙලාවේ කෝවිඩ්, රටේ මිනිස්සු අමාරුවෙන්. මේ වියදම් අඩු කරලා අපි යමු කියලා කියනවද? නෑ. අපේ රටේ භාණ්ඩාගාරය හිස් කරන එක, මේක අද ආණ්ඩුවේ ෆැෂන් එක වෙලා තියෙන්නේ''
මේ පිළිබඳව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද  ප්‍රශ්න කෙරිණ. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන 24 වෙනි මහලේ ගොඩනැගිල්ල නවීකරණය කිරීමේ සූදානමක් ඇති බවට වාර්තා පළ වන බවත්  කෝටි හයකට වැඩි ඉතාමත්ම අධික පිරිවැයක් දරා, මෙවැනි නවීකරණයක් සිදු කිරිමට මෙය  සුදුසු වේලාවක් දැයි, මාධ්‍යවේදීහු එහිදී විමසා සිටියහ. ඊට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ, කිසිදු කැබිනට් සාච්ඡාවකදී මෙතරම් මුදලක් වියදම් කර එය අලුත්වැඩියා කිරීමට කැබිනට් තීන්දුවක් ගෙන නොමැති බවයි. රජය එවැනි මුදලක් වියදම් කරන්නේ නම්, අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත යුතු බවත් කිසිදු අවස්ථාවක කැබිනට් මණ්ඩලය තුළ එවැනි සාකච්ඡාවක් සිදුව නොමැති බවත් කැබිනට් ප්‍රකාශකවරයා පැවසී ය.
''රජය එවැනි මුදලක් වියදම් කරනවා නම්, අනිවාර්යයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගන්න ඕන නේ, මමත් රමේෂ් පතිරණ ඇමතිතුමත් වගකීමෙන් ඔබට කියනවා. කිසිදු අවස්ථාවක කැබිනට් මණ්ඩලය තුළ එවැනි සාච්ඡාවක්වත් ඇතිවෙලා නැහැ''