කොවිඩ් පිළිබඳ අලුත් අනාවරණයක්...

කොවිඩ් දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිවූ දේ

by Staff writer 23-08-2021 | 10:41 PM

COLOMBO (NEWS1ST) :  ජාතික බෝවන රෝග විද්‍යායතනය කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂවලදී නවතම අනාවරණයක් සිදු කර තිබේ.

එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා සඳහන් කළේ, 100 කට අධික මරණ සංඛ්‍යාවක් පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී පෙනහළුවල ආසාදන ඇතිවන පුද්ගලයන්ගේ එම ආසාදනයන්හි මුල් අදියරේදී ඇති වන යම් යම් වෙනස්කම් හඳුනා ගත් බවයි. ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙය හෙළි කරන තෙක් ලොව වෛද්‍ය සඟරාවල මෙම අනාවරණය සිදු කර නොතිබූ බව ද විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සඳහන් කළේ ය. කොවිඩ් වෛරසයේ ආසාදනය වීමෙන් පෙනහළුවල ගර්තවල බිත්තියේ වෛරසයේ සංකූලතාවක් ලෙස නියුමොනයිටිස් යන තත්ත්වය ඇති වන බවත් එහිදී පෙනහළු ගර්තවල සෛල වර්ග දෙක විනාශයට පත්වන බවත් මෙම පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම විනාශවීම හේතුවෙන් ගර්ත බිත්ති විනාශ වී ඉන්පසු තවත් සංකූලතාවයක් ඇතිවේ. එනම්, ගර්තවල බිත්ති විශාල ප්‍රමාණයක් අකර්මන්‍ය වී මිය යාමයි. ඒ සමග මෙම සෛල ගර්ත තුළට කඩා වැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන තත්ත්වය කොවිඩ් වෛරසයේ පෙනහලු ආසාදනයේ මුල් අදියරේ ඇති වන තත්ත්වය ලෙස හඳුනා ගෙන තිබේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා මේ පිළිබඳව සිදු කළ පැහැදිලි කිරීම පහතින්....