කැබිනට් ඇමතිවරුන්ගේ මේ මස වැටුප Covid අරමුදලට

කැබිනට් ඇමතිවරුන්ගේ මේ මස වැටුප Covid අරමුදලට පරිත්‍යාග කිරීමට අනුමැතිය

by Staff writer 23-08-2021 | 5:47 PM

COLOMBO (NEWS1ST) : මාසයක වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් බැර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අද (23) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ය. අද කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ඉදිරිපත් වූ යෝජනාවකට අනුව මේ මාසයේ වැටුප කොවිඩ් අරමුදලට බැර කිරීමට අමාත්‍යවරුන් එකගතාව පළ කළ බව මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනාගේ වැටුප ද හෙට දිනයේ කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරිමට තීරණය කර ඇති බවයි. මේ අතර සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දැනටමත් සිය වැටුප කොවිඩ් රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් තිස්ස අත්තනායක පැවසුවේ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් මත covid 19 වසංගතයෙන් පීඩාවට පත් රෝගීන් වෙනුවෙන් උපකරණ ලබාදීමේ අරමුදල ආරම්භ කර ඇති බවයි.
''සමගි ජන බලවේගය මේ වෙනකොටත්, මන්ත්‍රී අරමුදලක් හදලා තියෙනවා. covid 19 වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න රෝගීන් වෙනුවෙන් උපකරණ ලබාදීමේ අරමුදලක්. මේක අපේ පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා යෝජනා කරලා ආරම්භ කරලා තියෙන්නේ.අපි අපේ මන්ත්‍රී අරමුදලෙන් ඒ සඳහා මුදල් ලබා සියලු ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන්නේ.අපි කියන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදුව කියන්නේ තව එකක්. ආණ්ඩුව මේ මොහොතේ උපාය මාර්ගික පියවරක් හැටියට ප්‍රාග්ධන වියදම් සඳහා අධික ලෙස යොදවන මුදල් නවත්තලා එය මුදල් covid වසංගතයෙන් බැට කන ජනතාවට සහ රෝගීන් වෙනුවෙන් යම් ආකාරයක පියවරක් ගන්නවා නම් හොඳයි.මේ මොහොතේ සමගි ජන බලවේගය අපි අපේ ආදර්ශය දෙන්න සූදානම්.අපි කියන්නේ අනිත් අයටත් ඒ ආදර්ශය දෙන්න''