ආනන්දට ඇප දෙමින් මහේස්ත්‍රාත්වරිය පැවසූ දේ

සත්‍ය තොරතුරු මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීම බන්ධනාගාරගත කිරීමට තරම් කරුණක් නොවේ

by Staff writer 22-08-2021 | 5:46 PM

COLOMBO (News 1st):  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) මගින් අත්අඩංගුවට ගත් ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ උප සභාපති ආනන්ද පාලිත මහතා අද(22)රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුද හැරිණි.

ඒ, ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. සැකකරුට ඇප ලබා නොදෙන ලෙසත්, ඇප ලබා දුනහොත් ඔහු යළි ජන ජීවිතය පීඩාවට පත්වන පරිදි එවැනි ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට පෙන්වා දුන්නේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ( 1) යටතේ රටේ ජනතාවට භාෂණයේ නිදහස හිමි කර දී ඇති බැවින් සත්‍ය තොරතුරු මත පදනම්ව අදහස් ප්‍රකාශ කිරීම රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් කරුණක් නොවන බව මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්වට පෙන්වා දෙනු ලැබුවා ය.

 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..

  ඉන්ධන අර්බුදයක් රට තුළ පවතින බවත් ඉන්ධන අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙසත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇති බැවින් සත්‍ය කරුණු පදනම්ව එවැනි ප්‍රකාශයක් සිය සේවා දායකයා සිදු කිරීම වරදක් නොවන බව ආනන්ද පාලිත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශ්‍රිනාත් පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය. නඩුව සැප්තැම්බර් මස 29 වැනිදා යළි කැදවීමට මහේස්ත්‍රාත්වරිය එහිදී දින නියම කරනු ලැබුවා ය. ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ(21) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ ය. රටේ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට කළ අසත්‍ය ප්‍රකාශයකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

 

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව..