වසර 150ක් පැරණි කොම්පඤ්ඤ වීදියේ ගොඩනැගිල්ලක් කඩා බිඳ දමයි..

by Staff writer 22-08-2021 | 10:29 PM

COLOMBO (News 1st) - වසර 150ක් පමණ පැරණි කොම්පඤ්ඤ වීදියේ ද සොයිසා ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ දිනවල කඩා බිඳ දමමින් සිටී.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පෙන්වා දෙන්නේ, අදාළ ගොඩනැගිල්ල එම ස්ථානයෙන් ඉවත් කරන්නේ ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ බවය. නාගරික සංවර්ධන අධිකාරිය අදාළ ගොඩනැගිල්ල කඩා දැමීම ආරම්භ කිරීමත් සමග එහි සිටි කුලී හිමියන් ඉන් ඉවත්ව ගොස් ඇත. වසර 150 ක් පමණ පැරණි බව කියන මෙම ගොඩනැගිල්ලේ කොටසක් පසුගිය ජූනි මාසයේදී කඩා වැටී තිබුණි. ඒත් සමගින් නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යය වේගවත් විය. ඉන්දියාවට අයත් ටාටා නිවාස සංවර්ධන සමාගමට අදාළ ගොඩනැගිල්ල පිහිටි ඉඩම ලබා දීම සඳහා මෙම ගොඩනැගිල්ල ඉවත් කරන බවට අනාවරණය වී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, 1940 අංක 40 දරණ පුරාවිද්‍යා ආඥා පනත යටතේ අදාළ ගොඩනැගිල්ල ඓතිහාසික ගොඩනැල්ලක් ලෙස නම් කර නොතිබූ නිසා අදාළ ඉවත් කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගත නොහැකි බවය. අදාළ ආඥා පනත යටතේ ඓතිහාසික ගොඩනැගිලි ලෙස නම් නොකෙරුණු නමුත් ඓතිහාසික වටිනාකමක් සහිත තවත් බොහෝ ගොඩනැගිලි ඇති බැවින් ඒවා වහා ගැසට් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මහාචාර්ය අනුර මනතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ය.