ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර...

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර..

by Staff writer 22-08-2021 | 9:29 PM

COLOMBO (NEWS1ST) : මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය ආරම්භ කර තිබේ.

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර පැවැත්වෙන්නේ ජනතා සහභාගිත්වයෙන් තොරවයි. අද (22) සවස 6.44 ට යෙදී තිබූ සුබ මොහොතින් පෙරහැර ආරම්භ කෙරිණ. අවසන් රන්දෝලි පෙරෙහැරේ පෙරහැර කරඩුව වැඩම කරන්නේ නැදුන්ගමුවේ රාජා හස්ථියායි. රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා සහ ශ්‍රී දළඳා මාළිගාවේ ඉන්දිරාජා යන හස්තිහු දෑල ගමන් කරති. උඩුවියන් සහ පාවඩ මතින් දෑළ හස්තීන් සමග පෙරහැර කරඩුව වැඩම කරන හස්තියා ප්‍රමුඛ ශ්‍රී දළඳා මාලිගාවේ පෙරහැර පෙරටු කර ගනිමින් සතර මහා දේවාල පෙරහැර අවසන් රන්දෝළි පෙරහැරේදී වීදි සංචාරය කරනු ලබයි. අලි ඇතුන් 70 ක් අද පෙරහැරට සහභාගිවන අතර වෙනත් වසරවල පැවති අයුරින්ම කිසිදු වෙනසකින් තොරව මෙවරත් අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමට දියවඩන නිලමේ නිලංග දෑල මහතා සියලු සංවිධාන කටයුතු සිදුකර තිබිණ. හෙට (23) පෙරවරුවේ පැවැත්වෙන දියකැපීමේ මංගල්‍යය හා දහවල් පෙරහැරත් සමග මෙවර මහනුවර ඇසළ මංගල්‍ය සමාප්ත වේ.