කොවිඩ් ආසාදිත මරණ වැඩිවීමට හේතුව කුමක්ද?

by Staff writer 22-08-2021 | 10:22 PM
COLOMBO (NEWS1ST) : ඩෙල්ටා වෛරසයේ පැතිරීම වැඩිවීම මරණ වැඩිවිමටත් හේතුවක් වී ඇතැයි, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, වෛරසය හැකි තරම් කාර්යන්ෂමව පැතිරීම සඳහා අනුගතවීම්, වෙනස්විම්, ජාන විකෘතිවීම් සිදු කර ගන්නා බවයි.
''මෙතන තියෙන්නේ වේගය පිළිබඳ ප්‍රශ්නයක්. වෛරසය පුළුවන්තරම් කාර්යෂමව පැතිරෙන්න, එයා කරන්න පුළුවන් අනුගතවීම් වෙනස්විම්, ජාන විකෘතිවීම් කරගන්නවා. ඒකට සාපෙක්ෂව අපිත් ඉතා වේගෙයන් අනුගවිම තමයි කරන්න ඕන''

වසංගතය මර්දනය කිරීමේ උත්සාහය කුමක්ද?

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ, දැනට පවතින දත්තවලට අනුව සිදුව ඇති මරණවලින් 91%ක් ම කිසිදු එන්නතක් නොගත් පුද්ගලයින් බව ත් 8%ක් පමණ එක් මාත්‍රාවක් පමණක් ගත් අය බවයි.
''ඇත්තටම මාත්‍රා දෙකම ගත්ත අය අතර මරණ සිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත් සුළුවෙන්. 2% විතර ඒවට විශේෂ හේතු තියෙනවා. කොවිඩ් විතරක් නෙවී වකුගඩු ආබාධ වගේ ඒවා උත්සන්න වෙලා තියෙන්නේ''
මේ වනවිට එන්නත්කරණ වැඩපිළිවෙළ තුළ වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට ප්‍රමුඛතාව ලබාදී ඇති අතර යුද හමුදාපතිවරයා සඳහන් කළේ, නිවසේ හෝ අසල්වැසි නිවසක අවුරුදු 60 වැඩි එන්නත නොගත් යම් පුද්ගලයෙකු සිටී නම්, වහාම යුද හමුදා කඳවුරකට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට, ග්‍රාම නිලධාරීවරයාට, එසේත් නොමැති නම් ප්‍රාදේශීය ලේකම්තුමාට දන්වන ලෙසයි. එසේ දැනුම් දීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව හරහා ඔවුන්ට එන්නත් ලබා දීමට හැකියාව ඇතැයි, යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර යුද හමුදාවේ ජංගම රථ මගින් සිදුකරන එන්නත්කරණ කටයුතු අද(22)ත් බස්නාහිර පළාත් තුළ ක්‍රියාත්මක විය. මේ සඳහා යොදා ඇති, ජංගම රථ සංඛ්‍යාව 10 කි. යුද හමුදාව පැවසුවේ, එක් ජංගම එන්නත්කරණ රථයක් කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රදේශයේ එන්නත්කරණය සඳහා යොදවා ඇති බවයි. බියගම හා මට්ටක්කුලිය ප්‍රදේශවලට රථ 03 බැගින් යොදවා තිබේ. පනාගොඩ ප්‍රදේශයේ එන්නත්කරණයට යොදවා ඇති රථ සංඛ්‍යාව 2 කි. යුද හමුදා මූලස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ ද එක් ජංගම එන්නත්කරණ රථයක් යොදවා තිබේ. මීට අමතරව රටපුරා මධ්‍යස්ථානවලදීත් එන්නත් ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

හිටපු වසංගත රෝග ප්‍රධානියාගේ මතය...

වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පවසන්නේ, එන්නත්කරණය මෙම ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා ඇති එකම විසඳුම නොවන බවයි.
''එන්නත්කරණය මේ ගෝලීය වසංගතය පාලනය කිරීම සඳහා ඇති එකම විසඳුම නෙමෙයි. ඉක්මනින් වැඩි ප්‍රතිශයකට දෙන්න ගිහින් තමයි මේ අත්‍යවශ්‍යම අය අවුරුදු 60ට වැඩි අය අපිට මග හැරුනේ. ඒ නිසා තමයි මේ මිය යමින් ඉන්නේ. මේ එන්නත් ක්‍රියාවලියෙන් පමණක් මේ රෝගීන් වැඩවීම නවත්වන්න බැහැ''
විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, තත්ත්වය පාලනය කිරීම සඳහා සංචරණ සීමා අවශ්‍යම වන බවයි.
''මේ තත්ත්වය පාලනය කරන්න සංචරණ සීමා අවශ්‍ය වෙනවමයි. අවුරුදු 21 ක් සේවා කළ රාජ්‍ය සේවකයෙක් ලෙස මම ඉල්ලන්නේ අඩු තරමේ තව දින 10ක් දීර්ඝ කරන්න වෙයි කියලා . මම විතරක් නෙමෙයි සියලුම විශේෂඥ වෛද්‍යවරු මේ මතයේ ඉන්නවා''
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ, එන්නත්කරණය සහ වෛරසය අතර පවතින තරගයෙන් අපි දැනට පරාජය වී ගෙන යන බවයි. යම් හෙයකින් එන්නත්වලට මර්දනය කර ගන්න බැරි ප්‍රභේදයක් මතුවුව හොත් විශාල අර්බූදයකට මුහුණ දීමට සිදු වනබවයි.
''දැන් මේ එන්නත් කරණය සහ වෛරසය අතර පවතින තරගයෙන් අපි දැනට පරාජය වී ගෙන යන්නේ. එය ජය ගැනීම සඳහා තමයි මේ තාවකාලික සහනයක් අපි ලබා ගන්නේ. දැන් සාමාන්‍යයෙන් 30% පමණ ඔක්සිජන් අවශ්‍ය වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. ඉතිං එහෙම බැලුවහම දිනෙන් දින අපි ජාතික රෝහල ගත්තොත් දින කීපයකට වරක් අලුත් වාට්ටුවක් එකතු කරන්න වෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ සීමාවත් ඉක්ම ගියොත් ලොකු අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙනවා. මේ සංචරණ සීමාවලින් මේ සියලු දේ යම් ප්‍රමාණයකට හරි අඩු වෙයි කියලා තමයි අපගේ බලාපොරොත්තුව. ප්‍රභේද හැදිලා හැදිලා වෙනස් වෙවී ගිහිල්ලා ලොකු අර්බුදයකට මුහුණ දෙනවා. මේ එන්නත්වලට මර්දනය කර ගන්න බැරි ප්‍රභේදයක් මතුවුනොත්''

කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ ප්‍රතිපත්තිය වෙනස් වුණා ද?

රෝග ලක්ෂණ ඇති කෙනෙකු හඳුනා ගනීමට ඇන්ටිජන් පරීක්ෂණය ප්‍රමාණවත් බවට විද්‍යාත්මකව ඔප්පු කර ඇති බැවින් කොවිඩ් ආසාදිත දැයි හඳුනා ගැනීම සඳහා ඉලක්කගත පිරිසකට PCR පරීක්ෂණ සිදුකර ඊට අමතරව මූලික වශයෙන් රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ , විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
''අපේ ක්‍රමවේදයන් යම්කිසි විදිහකට වෙනස්කරලා තියනවා පැහැදිලිවම යම්කිසි විදිහකට දැන් අපි කරන්නේ පිසීආර් පරික්ෂණ ටික ටාර්ගට් පොපියුලේෂන්වලට කරලා ඊට අමතරව රැපීඩ් ඇන්ටිජන් ටෙස්ට් එක තමයි මූලිකවම යොදවන්නේ මොකද රෝග ලක්ෂණ තියන අයට විද්‍යාත්මකව ඔප්පු කරලා තියනවා රෝග ලක්ෂණ තියන කෙනෙක් හඳුනගන්න ඇන්ටිජන් ටෙස්ට් එක ප්‍රමාණවත් කියලා ටෙස්ටින් පොලිසි එක වෙනස් වුණා ඉස්සර අපේ තිබුණේ නිරෝධායනය කරලා දවස් 14 කට පස්සේ නිරෝධායන ක්‍රියාවලියෙන් ඉවත්කරන්න භාවිතා කළේ PCR පරීක්ෂණය නමුත් ඒකට පත්කළ කමිටුව ඔවුන් නිර්දේශ කළා. මීට මාස එකාහාමාරකට දෙකකට ඉස්සර PCR පරීක්ෂණයක්ම අවශ්‍ය නැහැ. දැන් තියන ක්‍රමවේදය අනුව රැපීඩි ඇන්ටිජන් ටෙස්ට් එකක් කිරීම ඒකට ප්‍රමාණවත් කියලා''
කෙසේ වෙතත් PCR පරීක්ෂණවල අඩුවක් නොමැති බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
''නමුත් ඒ කියන විදිහට අඩුවෙලා නෑ පහුගිය දින කිහිපය ගත්තාම දැනටත් විසිදාහත් විසි දෙදාහත් අතර PCR පරික්ෂණ ප්‍රමාණයක් තියනවා. නමුත් බෝහෝවිට උපෙදස් දීලා තියනවා ඒ තිබෙන PCR පරීක්ෂණ ටික වැඩිපුර භාවිතා කරන්න කියලා දැන් රැන්ඩම් ටෙස්ටින් අහඹු පරික්ෂණ කරද්දි එතනදි අපට මරණ අනුපාතය අඩුකර ගැනීමට අවශ්‍යතාවයක් තියනවා 60 ය වැඩි අයට ප්‍රමුඛතාවය දෙන්න කියලා දැන් පැතිරීම වැඩි වෙනකොට අනිවර්යෙන්ම ඒක මරණවලට ඒ සිදුවීම නොවැළැක්විය හැකියි'' https://www.youtube.com/watch?v=VbIBeQgVA2M