by Staff writer 22-08-2021 | 10:12 PM
COLOMBO (News 1st) - ආණ්ඩුව පත් වූ දා සිට මේ දක්වා කරනු ලැබූ අසත්‍ය ප්‍රකාශ පිළිබඳව ආපසු හැරී බලා විමර්ශනයක් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට යෝජනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, කොරෝනා උවදුර රටට ඇතුල් විය හැකි බවට තමන් පසුගිය අවුරුද්දේ ජනවාරි 24 වැනි දා ආණ්ඩුවට අවධාරණය කළ නමුත් එවැනි අවදානමක් නැතැයි ආණ්ඩුව එහිදී ප්‍රකාශ කළ බවය.
එම වසරේම පෙබරවාරි 05 වැනි දා "මුව ආවරණ" නොමිලේ ජනතාවට ලබා දිය යුතු යැයි ප්‍රකාශ කරද්දී එවක විෂයභාර අමාත්‍යවරිය මුව ආවරණ අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ අයුරු ප්‍රේමදාස මහතා සිය නිවේදනයේ සිහිපත් කර තිබේ.
විපක්ෂ නායකවරයා පවසන්නේ, කොරෝනා ව්‍යසනය පාලනය කිරීම සඳහා මුළු ලෝකයම එන්නත්කරණයට යොමුවී සිටිද්දී වගකිවයුතු ඇමතිවරුන් ගංගාවලට මුට්ටි දැමීමත්, සහතික නොකළ පැණි පාර්ලිමේන්තුව තුළ පවා ප්‍රවර්ධනය කිරීමත් සිදු කළ බවය.
එන්නත් ගෙන්වීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය පුන පුනා සඳහන් කරද්දී වෙනත් ක්‍රම අත්හදා බලමින් සිටින බවත්, අවශ්‍ය අවස්ථාවේ එන්නත් ගෙන්නන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ප්‍රකාශ කළ අයුරු ඔහු සිහිපත් කර ඇත.
විපක්ෂ නායකවරයා පවසන්නේ, මෙවැනි කටයුතු නිසා එන්නත්කරණය පමා වී ජීවිත අනතුරට හෙළණු ලැබුවේ ආණ්ඩුව බවය.
පසුගිය ජනවාරි 11 වැනි දිනත් මැයි 23 වැනිදාත් රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු ආණ්ඩුවට මුදල් තිබෙන බව ප්‍රකාශ කළත් මැයි 17 වැනිදා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත යොමු කළ ලිපියකින් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ආණ්ඩුවට මුදල් නැති බව පවසා ජනතාවගෙන් ආධාර ඉල්ලා සිටි ආකාරය විපක්ෂ නායකවරයා සිය ලිපියෙන් ආණ්ඩුවට සිහිපත් කර තිබේ.
එවැනි පරස්පර ප්‍රකාශ කළ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කරයි.
මේ අතර 2021 මැයි 4 පසුගිය අඟහරුවාදාත් ටොසිලිෂුමාබ් (Tocilizumab) ඖෂධය නොමැතිවීම පිළිබඳව අතිශය සත්භාවයෙන් ආණ්ඩුවට සිහිපත් කරද්දී එම ඖෂධයේ කිසිදු හිඟයක් නැතැයි පදනම් විරහිත ප්‍රකාශ කළ අමාත්‍යවරයාට ගන්නා ක්‍රියාමාර්ගය ද ඔහු සිය නිවේදනයේ ප්‍රශ්න කර සිටී.