COLOMBO (News 1st) - ලාෆ්ස් ගෑස් සමාගමේ ගෑස් නිෂ්පාදන හා බෙදාහැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.
එම සමාගමේ ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් වන්නේ නව මිල ගණන්වලට අනුවයි.
කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමට ලාෆ්ස් ගෑස් සමාගමට පසුගියදා අනුමැතිය ලැබුණි.
ලාෆ්ස් ගෑස් සමාගමේ ඇනවුම් මේ වනවිට මෙරටට ළඟාවී ඇති අතර ගෘහස්ත ගෑස් සිලින්ඩර පිරවීම ඔවුන් ඊයේ(20) දිනය වනවිට ආරම්භ කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
හෙට අනිද්දා වෙනකොට වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වීමට අවශ්‍ය කටයුතු ලිට්රෝ සමාගමක් ලාෆ්ස් සමාගමත් සිදු කරලා තියෙනවා. එම නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. ගෑස් හිඟයක් මොනම ආකාරයටවත් ඇති වන්නේ නැහැ.
ලාෆ්ස් ගෑස් සමාගමේ මෙහෙයුම් අධීක්ෂක කුලමිත්ර බණ්ඩාර මහතා,
ඊයේ දිනයේදි අපිට ගෑස් නැවක් ලැබුණා. ඒ ගෑස් නැවෙන් පිරවීම ආරම්භ කළා. ඒ ආරම්භ කරපු පිරවීම් කටයුතු දැන් දිගටම කෙරීගෙන යනවා. අපි මේ සේවාව අඛණ්ඩව කරගෙන යෑමට වගකීමෙන් කටයුතු කරනවා
මේ අතර ලිට්රෝ ගෑස් මිල වැඩි කිරීමට අනුමැතියදී නැතැයි වෙළෙඳ අමත්‍යවරයා අද යළිත් අවධාරණය කළේ ය.
වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
කිසිම තීරණයක් අරන් නැහැ. මොකද ලිට්රෝ ගෑස් සමාගම රජයේ සහනාධාර ප්‍රතිපත්තිය යටතේ තමයි ගෑස් සපයන්නේ. විශාල සහනාධාරයන් මහජනතාවගේ පැත්ත ගැන හිතලා රජය දිලා තියෙනවා. ඒ නිසා ලිට්රෝ සමාගමේ වත්කම් සංචිත විශාල ලෙස අඩු වෙලා තියෙනවා. එසේ තිබුණත් ජනතාව පත් වෙලා තියෙන දුෂ්කරතාවය නිසා මේ දක්වා ගෑස් මිල වැඩි කරන්න රජය කිසිම අනුමැතියක් ලබා දිලා නැහැ.