ශ්‍රී ලාංකිකයින් 20ක් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටී...

ලාංකිකයින් ඉවත් කර ගැනීමට රජය සූදානම් වෙද්දී 20 දෙනෙක් ඇෆ්ගනිස්ථානයේ ම රැඳී සිටීමට කැමැත්ත පළ කරයි - විදේශ කටයුතු අමාත්‍යංශය

by Sagarika Chathumali 21-08-2021 | 9:23 PM

COLOMBO (NEWS1ST) : ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන බව ත් එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ, ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව , සුරක්ෂිතභාවය සහ ඔවුන් ආරක්‍ෂිත ස්ථානයක් කරා ගෙනයාම හෝ ශ්‍රී ලංකාව වෙත ගෙන ඒම කෙරෙහි මූලික අවධානය යොමු වී ඇති බවයි. මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහය ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය යන රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදාළ රටවල තානාපතිවරුන් සමග පැවති සාකච්ඡාවලදී ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සහය ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත. මේ සඳහා අවශ්‍ය ඕනෑම පහසුකමක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය සූදානමින් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් 86 දෙනා අතරින්, 46 දෙනෙකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මේ වනවිට ශ්‍රී ලාංකිකයින් ඇෆ්ගනිස්ථානයෙන් තවත් 20 දෙනෙකු ආපසු පැමිණීමට අපේක්ෂා කරන අතර, ඔවුන් ඉවත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කරමින් සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර, ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ ම රැඳී සිටීමට කැමැත්ත පළ කොට ඇතැයි ද , අදාළ නිවේදනයේ සඳහන් ය.