තලේබාන්වරු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්ද?

චීනයත් සහය දැක්වීම හමුවේ, තලේබාන්වරු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය කුමක්ද? -එම්. ඒ. සුමන්තිරන්-

by Staff writer 20-08-2021 | 5:40 PM

COLOMBO (News 1st) – මානව ශිෂ්ඨාචාරය දියුණූ වූ සමාජයේ කිසිවෙකුත් තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සහය පල කර නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පවසයි .

ඔහු එම අදහස් පළ කළේ, නිව්ස්ෆස්ට් - නිව්ස්ලයින් වැඩසටහන එක් වෙමින් ය. තලෙයිබාන්වරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය කුමක්ද යන්නත් , සුමන්දිරන් මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ය. චීනය තලෙයිබාන්වරුන්ට සහය දෙන බව පවසා තිබෙන පසුබිමකදී ශ්‍රී ලංකා චීනයේ තීරණයට විරෝධය පල කරන්නේ ද, නැද්ද යන වග පැහැදිලි කළ යුතු බවත් සුමන්දිරන් මහතා අවධාරණය කළේ ය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා
තලෙයිබාන් සංවිධානය මෙතෙක් ක්‍රියා කළ ආකාරය පිළිබඳව අපි සියලු දෙනා දන්නවා. ඒ නිසා ඔවුන්ට කවුරුත් පක්ෂ වේවි කියලා මම හිතන්නේ නෑ. මේ පසුබිම තුළ මානව ශිෂ්ඨාචාරය දියුණූ වූ සමාජයේ කිසිවෙකුත් තලෙයිබාන් සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සහය පල කර නැහැ. නමුත් චීනය ඔවුන්ට සහය දෙන බව පවසා තිබෙන පසුබිමක ශ්‍රී ලංකා රජය තම ස්ථාවරය පැහැදිලි කළ යුතුයි. මේක තමයි අපේ ඉල්ලීම. තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද ? තලෙයිබාන්වරුන්ට ඔබතුමාලා සහය දෙනවාද ? එසේ නොමැති නම් චීනයේ තීරණයට ඔබතුමන්ලා විරෝදය පල කරනවා ද, නැද්ද කියල එක දැන් පැහැදිලි කළ යුතුයි .