රට හැර යද්දී ගුවනින් වැටී මියගිය අන්වාරි..

උඩු ගුවනින් බිමට වැටී ජීවිතයෙන් වන්දි ගෙවන ඇෆ්ගනිස්ථාන වැසියන්

by Sagarika Chathumali 20-08-2021 | 5:56 PM

COLOMBO (NEWS1ST) : 

රට වැසියාට කුමක් සිදුවුව ද කම් නැත... ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුරවැසියා නම් දැන් රට හැර ගොසින් මිත්‍ර රටක සැප සේ දිවි ගෙවන්නේ ය.

එහෙත් ජීවිතය බේරාගෙන රටින් පැන යන්නට මගක් සොයන ඇෆ්ගනිස්ථාන වැසියන් අතරින් ඇතැමෙකුට සිය ජීවිතයෙන් ම වන්දි ගෙවීමට සිදුව තිබේ.

19 හැවිරිදි සකී අන්වාරි නම් තරුණ පාපන්දු ක්‍රීඩකයා එලෙස අනපේක්ෂිත ලෙස  ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ ඇෆ්ගනිස්ථාන  පුරවැසියන් අතරින් අයෙකි. මෙම  තරුණ පාපන්දු ක්‍රීඩකයාට සිය ජීවිතය අහිමි වන්නේ, තලේබාන් සටන්කාමීන් රට අල්ලා ගනිද්දී  රටින් පැන යාමට පොරකමින් ගොඩ වූ අමෙරිකානු ගුවන් යානයෙන් පහළට ඇඳවැටීමෙනි. තලේබාන් සටන්කාමීන් යළි රට අල්ලා ගනිද්දී දහස් ගණනක් ඇෆ්ගනිස්ථාන වැසියන් පොර බඳිමින් කාබුල්හි ගුවන් තොටුපොළට අතුරුසිදුරු නැතිව එක්රැස් වූයේ, උපන් රටේ ජීවිතය එපා යැයි කියමින් රටින් පැන යාම සඳහායි. කිසිදු බලාපොරොත්තුවක් නැති ඇෆ්ගන් ජනතාව දකින දකින ගුවන්යානයේ නැගී රටින් පිටවීමට උත්සහ කළ අතර එලෙස ගුවන් යානයකට ගොඩ වූ දෙදෙනෙකු යානයෙන් බිමට පතිත වන දර්ශන පෙළක්  විදෙස් මාධ්‍ය ප්‍රචාරය කර තිබිණ. මෙලෙස යානයෙන් ඇඳවැටි මිය ගිය දෙදෙනා අතර අන්වාරි නම් එරට ජාතික යොවුන් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයා ද වන බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් දැන් තහවුරු කර තිබේ. අන්වාරිගේ මරණය පිළිබඳව වැඩිදුර තොරතුරු ඇෆ්ගනිස්ථාන බලධාරීන් හෙළි කර නොමැති අතර සාමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් අන්වාරිට අවසන් ගෞරව පළ කරමින් ශෝක පණිවුඩ පළ කර තිබිණ. සිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු අමෙරිකාවට සහය වූ පිරිස් රැගෙන යාමට ගුවන් තොටුපොළට පැමිණි අමෙරිකානු හමුදාවට පවා තත්ත්වය පාලය කර ගැනීමට නොහැකි තරම් කෙසේ ඇෆගනිස්ථාන වැසියන් ගුවන්තොටුපොළට එක්රැස්ව සිටි අතර ගුවන් යානා සඳහා ගොඩවීමට ඇෆගන් වැසියන් පොරකෑම හමුවේ උත්ගතවූ කලහකාරි තත්ත්වය පාලනය කිරීමට අමෙරිකානු හමුදාවට ගුවනට වෙඩි තැබීමට පවා  සිදු විය. මේ අතර 4,500 ආසන්න අමෙරිකානු බට කණ්ඩායමක් තවදුරටත් කාබුල්හි ගුවන්තොටුපොළේ රැඳී සිටින අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ, වැසියන් ඉවත් කිරීමේ කාර්ය සඳහා අගෝස්තු 31 දිනට නියමිත කාල සීමාව ඉක්මවා ද අමෙරිකානු හමුදාවට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට සිදු විය හැකි බවයි. අමෙරිකා එක්සත් ජනපදයේ සෙබළුන් ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි ගුවන්තොටුපොළ පාලනය කරන නමුත්, පර්යන්තවලට ඇතුළු වන සියලුම මාර්ග පවතින්නේ තලෙයිබාන් සටන්කාමීන් යටතේ ය. විදෙස් මාධ්‍ය අනාවරණය කරන ආකාරයට තලෙයිබාන් සංවිධානය සංචාරක ලියකියවිලි නොමැති ඇෆ්ගන් ජාතිකයින්ට ගුවන්තොටුපොළ වෙත යාමට ඉඩ නොදෙන අතර වලංගු ලියකියවිලි ඇති අයට පවා ගුවන්තොටුපොළ වෙත යාමට බාධා එල්ලවී ඇත. මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසන්නේ, තමන් ඇෆ්ගනිස්ථානයේ සිටින සියලුම අමෙරිකානුවන් ඉවත් කර ගන්නා තෙක් අමෙරිකන් හමුදාව රටේ තබා ගැනිමට කැපවී සිටින බවය. ඔහු මෙය පැවසුවේ, මේ මස 31 වැනිදා වනවිට සිය හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගන්නා බවට මින් පෙර පවසා ඇති පසුබිමක ය.

ඇෆ්ගනිස්ථාන ජනපති දැන් කොහෙ ද?

පසුගිය 15 වනදා තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට ඇතුළුවනවා ත් සමග ජනාධිපති අෂ්රෆ් ඝානි ටජිකිස්ථානය බලා  පළා ගියේ ය. මෙලෙස ජනාධිපතිවරයා රටින් පැන ගොස් තිබුණේ, සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී රටේ එරට පළාත් 34 න් 26 ක්ම අල්ලා ගත් තලේබාන් සටන්කාමීන් කාබුල් නගරය වටලා ගැනීමෙන් පසු සාමකාමී ලෙස බලය හුවමාරු කර ගැනීම සඳහා වූ සාකච්ඡා මධ්‍යයේයි. විශාල මුදල් ප්‍රමාණක් ද සමගින් මුලින්ම ටජිකිස්ථානයට පැන ගිය වාර්තා පළ වූ ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් දැන් සිටින්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවසුවේ, මානුෂීය හේතුන් මත ඝානි හා ඔහුගේ පවුලේ සාමාජිකයින් පිළිගත් බවයි. මේ අතර පසුගි දා වීඩියෝවක් ප්‍රසිද්ධ කරමින් ජනාධිපතිවරයා තම පළායාම ප්‍රතික්ෂේප කළ අතර ඔහු කියා සිටියේ, මහා විනාශයක් වැළැක්වීම සඳහා ඔහු රටින් පිටව ගිය බවයි. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරතව සිටි සිට හමුදා භට කණ්ඩායම් එරටින් ඉවත් කර ගැනීමට තීරණය කිරීමෙන් පසු තලේබාන් සටන්කාමීන් ඉතා කෙටි කාලයක් තුළ සටන දැඩි කරමින් ඇෆගනිස්ථානයේ ප්‍රදේශ රැසක් සිය අණසකට ගත්තේ ය.

ඇෆ්ගනිස්ථානයට සිදුවූ දේ…

ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ප්‍රහාර එල්ල වීමත් සමග ඔසාමා බින් ලාඩ්න්ට රැකවරණය දුන් ඇෆ්ගනිස්ථානයට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතිව ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයට ගොඩබැසීම සිදු වන්නේ, 2001 වසරේදී ය. පළමු වටයේදීම බග්රම් ගුවන් කඳවුරට සෙබළු දස දහසක් පැමිණියහ. එතැන් සිට එල්ල වූ ප්‍රහාරවලින් තලේබාන් බලය බිඳ වැටුණු අතර ඔවුහු තාවකාලිකව විසිර ගියහ. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයට ගොඩ වීමෙන් පසු දිනෙන් දින ඇතිවූ ගැටුම්වලින් තලේබාන් මර්දනයට වඩා සිවිල් වැසියන් මරණයට පත්වීමත් අවතැන් වීමත් සිදු විය . ඇෆ්ගන් යුද්ධයට ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් ට්‍රිලියනයකට වැඩි මුදලක් වියදම් විය. හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමරිකානු හමුදා  සියරට කඳවීමට මුලින්ම තීරණය කරනු ලැබූ අතර   නව ජනපති ජෝ බයිඩන් එය ක්‍රියාවට නැගී ය.