"ප්‍රශ්න විසඳන්නේ කුණු වෙලා ඕජස් ගලනකොට"

අපේ යුතුකම ආණ්ඩු රකින එක නෙවෙයි, ජනතාව රකින එක..- පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි

by Staff writer 20-08-2021 | 11:35 PM

COLOMBO (News 1st) - රටේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව මෙතරම් ප්‍රමාද ඇයි යන්න පිළිබඳව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි අද අවධාරණය කළේය.

උන්වහන්සේ පැවසුවේ, රටේ බොහෝ ප්‍රශ්න රජය විසින් විසඳනු ලබන්නේ, එම ප්‍රශ්න ඇට්ටකුණා වී, කුණු වී ඕජස් ගලන අවස්ථාවේදී බවය. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මේ බව පැවසුෙව්, අද පැවති මාධ්‍ය හමුවකට ඒක් වෙමිනි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි,
මේ රටේ බොහෝ ප්‍රශ්න ඇට්ටකුණා වෙලා කුණු වෙලා ඕජස් ගලන කොට විසඳන්නේ. ප්‍රශ්න ප්‍රශ්න හැටියට අතට අරගෙන ඒ වෙලේම විසඳන්නේ නැතිකම නිසා ප්‍රශ්න උඩු දුවලා අභාග්‍ය විදියට වැටිලා විනාශකාරි තත්වෙකට වුණාට පස්සේ ප්‍රශ්නේ විසඳනවා එතකොට තවත් ප්‍රශ්න මතු වෙනවා ඒක තුළින්. එතකොට සිත් බිඳිලා. රටේ ජනතාව ආරක්ෂා කරගත යුතුයි. ආර්ථිකය මෙතෙක් කල් හැදුවයි හැදුවයි කිව්වාට මේ රටේ ජනතාවට ලැබුණු සහනයක් නෑ හරිහැටි. නාස්තිය සහ දුෂණය සහ වංවාව වළක්වන්න රජය ක්‍රියා කළ යුතුයි. ඒ ක්‍රියා කෙළාත් මං හිතන්නේ අපිට මේ ජනතාවගේ ප්‍රශ්න බේරගන්න පුළුවන්. කිසිම සැලැස්මක් නොමැති ප්‍රකාශ කරනවා. කෙනෙක් කියනවා මේක කරනවායි කියලා. ඒ පාර ජනතාව ගිහිල්ලා පෝලිම්වල ඉන්නවා ආහාර ද්‍රව්‍ය ටිකක් ගන්න. තව කට්ටියක් කියනවා තෙල් හිඟයක් ඇති වෙනවා කියලා. ඒ පාර එතන ගිහිල්ලා ජනතාව පොර කනවා. ඇයි මේවා එකම මේසෙක වාඩිවෙලා සාකච්ජා කරලා තිරණ ගන්නේ නැත්තේ? එකේක මිනිස්සු එකේක විදියට කතා කරන්නේ වග කිවයුතු ඇමැතිවරු. දැන් අර ගේ මුදුන් ලිය චිරි බිරි ගාණකොට ඉතිපිසෝ මතක් වුණා වගේ දැන් විවිධ ඒවා කියවනවා. නමුත් ඒ දැන් කියන චරිතේ දිහා අපි බලන් ඉන්නවා. මොනවා කරපු මිනිස්සු ද කියලා. මට කණගාටු මෙච්චර පිරිසක් අපේ රටේ බුද්ධිමත් උගත් විද්වත් කාර්යශූර සිවිල් සමාජය නායකයින් හා විවිධ කොටස් ඉද්දි කිසිම අනුදැනුමක් නැතුව කිසිම අවබෝධයක් නැතුව තණකොළ ගහක් පෑගිච්චේ නැති කිසිම අවබෝධයක් නැති මිනිස්සු මේවා කරන්න ගියාම තියෙන විපාක අපි මේ විදින්නේ. ඒක නිසා කරුණාකරලා තීරණ ගැනිමේදී මීට වඩා සැලකිලිමත්ව ජනතාවගේ පැත්තේන් ඉඳලා හිතනවා මිසක් ආණ්ඩුව පැත්තේ ඉඳලා නෙවෙයි හිතන්න ඕනේ. ආණ්ඩුවක් තියෙන්නේ ජනතාව රැක ගන්න. ජනතාව ආරක්ෂා කරන්න. ඒක නිසා ආණ්ඩු රකින එක නෙවෙයි අපේ යුතුකම දැන් ජනතාව රකින එක කියලයි මට පැහැදිලිව කියන්න තියෙන්නේ.