COLOMBO (News 1st) - මෙරට ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් 144,564 ක්ට දෙවන මාත්‍රාව ලැබී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය විය.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත මාත්‍රා දෙකකින් යුක්ත වන අතර එය නිකුත් වන්නේ නිෂ්පාදන 2 ක් ලෙසය.
පසුගිය මැයි මාසයේදී එම එන්නත මෙරට පුද්ගලයින් සඳහා ලබාදීම ඇරඹුණු අතර 159,081 දෙනෙකුට පළමු මාත්‍රාව ලබාදී තිබුණි.
වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්තවලට අනුව දෙවන මාත්‍රාව ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,517 ක් පමණයි.
ස්පුට්නික් එන්නත මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ලබාදුන් අතර එම අවස්ථාවේදී පළමු මාත්‍රාව පමණක් වුවත් ප්‍රමාණවත් බවට එය ලබාගන්නා පුද්ගයින්ට විශේෂ කොන්දේසියකට ද එකඟත්වය පළ කිරීමට සිදු විය.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,
ඒක දැනුවත්ව තමයි පළවෙනි එන්නත අපි ඒ ප්‍රදේශයේ ලබා දුන්නේ ඉදිරියේදී මේ එන්නතේ දෙවන මාත්‍රාව, දැනට ලබා දුන්න එකට අමතරව තව එන්නතක් ලබා දෙනවාද නැද්ද කියන එක පිළිබඳව තීරණය කරාවි. අපේ පාලනයෙන් තොර හේතූන් මත තමයි අපට ක්ෂණිකව ඒවා ලැබුණේ නැත්තේ
මේ අතර ස්පුට්නික් පළමු මාත්‍රාවෙන් 88.7%ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් නිපදවා ගෙන තිබූ බව පර්යේෂණ වාර්තාවක් එළිදක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊයේ(18) ප්‍රකාශ කළේ ය.
එහිදී පෙන්වා දුන්නේ, මෙම ප්‍රතිශක්තිකරණ හැකියාව පළමු මාත්‍රාව ලබාගෙන සති 04කට පසුව සිරුර තුළ ඇති වන බවය.
පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව නොලැබ මාස කිහිපයක්ගත වූ පිරිස් සිටින බැවින් මසකට පසු ප්‍රතිශක්තිකරණ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමක් කර ඇත්දැයි අප ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුක විද්‍යා ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් විමසීමක් කළේය.
එහිදී ආචාර්ය ජීවන්දර මහතා ප්‍රකාශ කළේ, ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවෙන් ලැබන ඉහළ ප්‍රතිශක්තීකරණය කොපමණ කල් පවතීද යන්න පිළිබඳව තවමත් පර්යේෂණයක් සිදු කර නොමැති බවය.