COLOMBO (News 1st) - අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සහරාන්ට ඉහළින් සිටි පුද්ගලයින් අල්ලා ගැනීමටනම් සාරා ජෙස්මින්ව අල්ලා ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, 4/21 ට යුක්තිය නමින් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද අද(19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා,
මේ බෝම්බ ප්‍රහාරයෙන් සහරාන්ගේ කණ්ඩායමේ ඉතිරි වෙලා ඉන්න අද ජීවතුන් අතර ඉන්න එකම තැනැත්තිය තමයි සාරා ජෙස්මින්. සාරා ජෙස්මින් ගැන හොයන්නේ නෑ. දැන් එයා ඉන්දියාවට පළා ගිහිල්ලා තියෙනවා නම්, ඉන්දියානු ආණ්ඩුවෙන් ලිඛිත ඉල්ලිමක් ආණ්ඩුව කළා ද? මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා අද වෙනකොට අවුරුදු එකහමාරකට වැඩියි. වරෙන්තුවක් ගත්තා ද සාරා ජෙස්මින්ව අත්අඩංගුවට ගන්න කියලා ජාත්‍යන්තරයට දන්වන්න. එහෙම වරෙන්තුවක්වත් අරන් නෑ. කාවද අල්ලන්නේ ? අල්ලන්නේ සහරාන්ගේ පහළ හිටපු මිනිස්සු ටික. සහරාන් නැවතිලා හිටපුගේ අයිතිකාරයව අල්ලන් යනවා. සහරාන් තේ බොන්න ගිය කඩේ හිටපු ඒ මුදලාලිව අල්ලන් යනවා. සහරාන් පාරෙදි කතා කරානම් ඒ කතා කරපු කොල්ලව අල්ලන් යනවා. ඒ ගොල්ලන්ව තමයි අල්ලන්නේ. සහරාන්ට උඩින් හිටපු මිනිස්සු ටික අල්ලන්නේ නැත්තෙ ඇයි? සහරාන්ට උඩින් හිටපු මිනිස්සු ටික අල්ලන්න නම් සාරා ජෙස්මින්ව අල්ලන්න ඕනේ.