රට සතියකටවත් වසා දමන්න-මල්වතු,අස්ගිරි මහනාහිමිවරු

රට සතියකටවත් වසා දමන්න - මල්වතු ,අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ජනපති හා අගමැතිට ලිපියක්..

by Staff writer 19-08-2021 | 2:48 PM

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය පාලනයට අවම සතියක් හෝ රට වසා තබන්නැයි මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

මහ නාහිමිවරුන් මෙම ඉල්ලීම කරමින් ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යැවූ ලිපිවල සඳහන් වන්නේ මෙම ආපදා අවස්ථාවේ ජන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් හා නිර්දේශ මත පියවර ගත යුතු බවය. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමි සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් අත්සන් තබමින් මෙම ලිපි ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යොමු කර තිබේ. උන්වහන්සේ පවසන්නේ ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතින බවය. නව විකෘති වෛරස් ප්‍රභේදයන්ගේ දරුණු බව හා සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව ද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු යැවූ ලිපිවල දැක්වේ. ඉදිරි මාස කිහිපය තුළදී රටේ ඇතිවිය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව ද එම ලිපිවලින් මහනාහිමිවරු සිහිපත් කර දෙයි. එබැවින් මහනාහිමිවරු ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන්නේ ජනතාවට අවශ්‍ය පහසුකම් සලසමින් රෝග ව්‍යාප්තිය පාලනය සදහා පියවර ගන්නේ නම් සුදුසු බවය. කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භක අවස්ථාවේ ජන ජීවිත සුරක්ෂිත කිරීමට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් රජය ගෙන ගිය වැඩපිළිවෙළ ද මෙම ලිපියෙන් ප්‍රසංශාවට ලක් කර තිබේ.

මල්වතු - අස්ගිරි මහ නාහිමිවරු ජනපති සහ අගමැති වෙත එවූ ලිපිය කියවන්න..