by Staff writer 18-08-2021 | 10:46 PM
COLOMBO (News 1st) - පසුගියදා යාල කලාප අංක 03 ප්‍රදේශයේදී වන අලියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද(18) උදෑසන තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තේ කතරගම, දඹේ ප්‍රදේශයේදී ය.
සැකකරු සන්තකයේ තිබී අඩි 03 යි අගල් 02 ක් දිගැති ඇත් දළ දෙකක්, අලියෙකුගේ වලිගයක් සහ ගිනි අවියක් සොයාගෙන තිබේ.
කතරගම පොලීසිය භාරයේ සිටින සැකකරු හෙට (19) තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
වෙඩි තබා ඝාතනය කළ බවට සැක පණු දළ යුගලය කපා රැගෙන ගිය වන අලියෙකුගේ සිරුරක් යාල අභය භූමියේ කලාප අංක 03 ප්‍රදේශයේ සෙල්ල කතරගම, ගෝතමීගම, යාල විදුලි වැට සම්බන්ධ වන ස්ථානයේදී පසුගියදා සොයා ගැනිණි.
ඝාතනය වූ බවට සැක කෙරෙන මෙම වන අලියාගේ හිස කොටස වෙන්කර පණු දළ යුගලය ද රැගෙන ගොස් ඇති අතර ඇතාගේ වලිගයේ කෙඳි සහිත අග කොටස ද කපා ගෙන ගොස් තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව මගින් එක් විමර්ශනයකුත්, පොලිස් විමර්ශනයක් සහ ඒකාබද්ධ විමර්ශනයක් ලෙස විමර්ශන 03ක් ක්‍රියාත්මකය.
වෙඩි තැබීමට යොදා ගත් බව කියන ගිනි අවියේ හිමිකරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන කට උත්තරයක් ලබා ගැනීමෙන් අනතුරුව ඊයේ මුදා හැරියේ ය.