දින 10කටවත් රට වහන්නේ නැත්නම් දැඩි පියවරකට යනවා

ආණ්ඩුව රට වහන්නේ නැත්නම් ලබන සඳුදා සිට සේවා ස්ථානවලින් රාජ්‍ය සේවකයෝ ඉවත් කර ගන්නවා - වෘත්තීය සමිති

by Staff writer 18-08-2021 | 10:25 PM

COLOMBO (News 1st) - දින 10 කටවත් රට වසා දමන්නේ නැතිනම් ලබන සඳුදා සිට දැඩි පියවරකට යන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කර තිබේ.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා,
මේ රට මේ මොහොතේ විද්‍යාත්මක වසා දැමීමට යන්න කියලා කියන්නේ නැත්තේ කවු ද? කැබිනට් මණ්ඩලයනුත් වෙන වෙනම ඇහුවහම තියනවා වහන්න ඕනේ කියලා. එතකොට මේ රටේ සෞඛ්‍ය අංශ විශේෂඥයෝ කියනවා රට වහන්න ඕනේ කියලා ආගමික නායකවරු කියනවා රට වහන්න ඕන කියලා. PHI මහත්වරු කියනවා රට වහන්න කියලා. මේ තරමට අත්තනෝමතික මේ විදිහට හිතුවක්කාරී මෝඩ විදිහට හැසිරෙමින් මේ බිලි දෙන්නේ මේ රටේ ජීවිත. කෝටි හැටදාහක් සල්ලි අච්චු ගහපු ආණ්ඩුවෙන් අපි අහනවා තව කෝටි පන්දාහක් අච්චු ගහලා දෙන්න කියලා මේ රටේ මිනිස්සු මැරෙන්නෙ නෑ. ඔහේලට බැරි එක බෑ තමයි. හැබැයි මේ රටේ මිනිස්සු මැරෙන එක නවත්වා ගන්න නම් තව කෝටි දහදාහක අච්චු ගහලා දීලා හරි ආදායම් නැති මිනිස්සුන්ට සති දෙකක් ගෙවල්වල ඉන්න කියලා ජීවත් වෙන්න පාර කැපුවේ නැත්තං අපිට පාරවල් අයිනේ මළ මිනි ගොඩ ගහන්න වෙනවා.
සංවර්ධන නිලධාරී සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, චන්දන සූරියආරච්චි මහතා,
ආරක්ෂිත වැඩපිළිවෙළක් යටතේ පවත්වාගෙන යන පාර්ලිමේන්තු වූයේ ඊයේ පැය 03ට කොවිඩ් රෝගීන් 12 ක් වාර්තා වෙනවා. එතකොට ප්‍රභූන් ගැවසෙන තැන්වල ලොක්ඩවුන් කරගන්නවා. මේ රටේ සාමාන්‍ය වැඩකරන පන්තියට මේක විවෘත කරලා තියෙනවා. ඇයි සාමාන්‍ය මිනිස්සු මැරුණාට පාලකයන්ට ප්‍රශ්නයක් නෑ. දෙයියනේ මේ රට හැලුවා කියන ආර්ථිකය හැඩුවා කියන ඔස්තාර්ලා බැහැලා ඉන්නවා කියන ආණ්ඩු තියනවා හතලිස් පන් ලක්ෂයකට කන්න දෙන්න විදිහක් නෑ රට වැහුවොත්. මාර ආණ්ඩුව එතකොට අපි කාගෙන්ද මේ ප්‍රශ්න විසඳ ගන්නේ ?
සමස්ත ලංකා කළමනාකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති, උදේනි දිසානායක මහතා,
අපි ආණ්ඩුවට කියනවා වහාම මේ සිකුරාදා රට විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දවස් දහයකට හෝ රට ලොක්ඩවුන් කරන්න කියන ඉල්ලීම සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා තමයි මේ ඉල්ලීම රජයට කරන්නේ. මොකද ආණ්ඩුව රට වහන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ලබන සදුදා ඉඳලා රාජ්‍ය සේවකයෝ තම සේවා ස්ථානවලින් ඉවත් කරගන්න.
මේ අතර සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද දැඩි ලෙස අවධාරණය කරන්නේ ලොක්ඩවුන් තත්ත්වයකට යා යුතු බවටයි. සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ගිශාන්ත දසනායක,
මේ වෙලාවේ මිනිස්සුත් ඉල්ලනවා ලොක්ඩවුන් එකකට නොගිහින් මේක වළක්වාගන්න බැහැ කියන එක ආණ්ඩුව කරන්නේ මොකක්ද මොකක් හරි කළා කියලා පෙන්වන්න පළාත් අතර සංචරණය පළාත් සීමාවලින් වළක්වනවා හැම පළාතෙම රෝගය තියෙද්දී හැම පළාතෙම ඩෙල්ටා ප්‍රබේදයත් තියෙද්දි මේ පළාත් අතර සංචරණය කියන කාරණේ කිසිසේත් විද්‍යාත්මක නොවෙන අවිද්‍යාත්මක කටයුත්තක් කියන කාරණේ පැහැදිලියි සංචරණ සීමාවක් අවශයයි අර පළවෙනි රැල්ලේ කළා වගේ