රට ලොක්ඩවුන් කිරීම විනාඩි කිහිපයකදී ජනපතිට ගත හැකි තීරණයක් - ඇමති බන්දුල

by Staff writer 18-08-2021 | 5:26 PM

COLOMBO (News 1st): කොරෝනා වසංගතය පාලනයට විසඳුමක් ලෙස ආණ්ඩුව රට ලොක්ඩවුන් නොකිරීමට හේතුව කුමක්දැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ඒ, අමාත්‍යවරයා අද (18) පෙරවරුවේ පිටකොටුව වෙළෙඳ සැල් පරික්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදීය. එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ රට ලොක්ඩවුන් කිරීම එක දවසක් තුළ විනාඩි කිහිපයකදී ජනාධිපතිතුමාට ගත හැකි තීරණයක් බවය. නමුත් කොරෝනා නොවැළඳුණු කෝටි ප්‍රකෝටි ජනතාවක් ජීවත් කරවන්නේ කෙසේදැයි කියා ආණ්ඩුවක් ලෙස අප සිතිය යුතු බව අමාත්‍යවරයා පවසයි. ‌ ලොක්ඩවුන් එකක් තුළින් පරිප්පු, කඩල, අල, ලූණු වැනි ද්‍රව්‍යවල අඛණ්ඩ ආනයනයට බාධාවක් ද සිදුවන බැවින් එවිට රටතුළ භාණ්ඩ හිඟයක් ද මතුවන බව අමාත්‍යවරයා කියා සිටියේය. එවිට වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස භාණ්ඩ මිල ඉහළ යන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ස්වයං නිරෝධායනය වීමට සම්පූර්ණය අයිතිය ඇති බැවින් ලංකාවේ සියලුම නගරවල සිල්ලර වෙළෙඳසැල් වසා දැමුවත්, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා සතොස සහ සමූපකාර රටපුරා විවෘත කර තබන බැවින් එය ගැටලුවක් නොවන බවය.