මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවූයේ ඇයි?

සියලු මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවූයේ ඇයි? - අනුරගෙන් පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

by Staff writer 17-08-2021 | 10:54 PM

COLOMBO (News 1st) - අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සියලු මහේස්ත්‍රාත්වරුන් සම්මන්ත්‍රණයකට කැඳවා අධිකරණ තීන්දු ගැන කතා බහ කිරීමක් පිළිබඳව අද(17) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරිණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද දැඩි අවධානය යොමු කර තිබේ. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ක කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක,අනුර කුමාර දිසානායක මහතා,
පසුගිය 09 වැනි දා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වන සංජීව සෝමරත්න මහතාගේ අත්සනින් යුතුව 2021.08.13 වැනි දින පෙරවරු 9.30 සිට 1.00 දක්වා විනිසුරුවරුන් පුහුණු කරන ආයතනයක දේශන ශාලාවේ සියලුම මහේස්ත්‍රාත්වරුන් වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වෙන බව දැනුම්දී තිබෙනවා. එසේම ඉහත සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම අනිවාර්ය බවත් එසේ සහභාගී නොවුනහොත් සේවා උසස්වීමවලදී වාර්ෂික වැටුප් වැඩි කිරීම්වලදි විදේශ පුහුණු කිරීම්වලට ද තෝරා ගැනීමේදී ඉහළ අධිකරණවලට උසස් කිරීමේදී ඒ පිළිබඳ සැලකිල්ලට ගන්නා බව එහි තුන්වැනි වගන්තියේ සඳහන් කරලා තියනවා. මෙම සම්මන්ත්‍රණයේදී මහේස්ත්‍රාත්වරුන් අපේක්ෂාවෙන් සිටියේ මෙහිදී කොවිඩ් 19 තත්ත්වය මධ්‍යයේ රාජකාරී කිරීමේදී ඇති වී තිබෙනව ගැටලුකාරි තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් සිදුවන බවටයි. කෙසේ වුවද වාර්තාවන අන්දමට අපි කවුරුත් දන්නවා අපේ මහේස්ත්‍රාත් අධිකරණ ගණනාවකදි පොලීසිය ගිහිල්ලා විවිධ කරුණු මත අත්අඩංගුවට අරගන රිමාන්ඩ් භාරයට පත් කරන්නයි කියලා ඉල්ලා සිටියත් මහේස්ත්‍රාත්වරු එය ප්‍රතික්ෂේප කර තිබුණා. බෙහෝ අධිකරණවල. ඒ අධිකරණවල ස්වාධීනත්වය. මේ ලබා දෙනු ලැබූ තීන්දු පිළිබඳව මෙම සකච්ඡාවෙදී ගරු කතානායකතුමනි සාකච්ඡා කොට තිබෙනවා. ඔබලා එවැනි ආකාරයේ තීන්දු ලබා දෙනවානම් ඔබලාගේ වෘත්තීමය ජීවිතයට බලපෑම් ඇති වෙනවා කියලා මේ කරුණු ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අධිකරණ පද්ධතියේ ප්‍රධානතම වගකීම දරන්නා ඒ කියන්නේ වර්තමාන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු දේශකයින් කිහිප දෙනෙකු විසින් ව්‍යවස්ථාවේ තිබෙන විවිධ වගන්ති උපුටා දක්වමින් මෙන්න මේ අනුව අපිට කටයුතු කළ හැකිය, මේ අනුව රිමාන්ඩ් භාරයට පත් කළ හැකිය කියන කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා ලබාදී තිබෙන තීන්දු වැරදි බව ප්‍රකාශ කරලා තියනවා. ගරු කතානායකතුමනි මෙවැනි අධිකරණ පද්ධතියක් මහේස්ත්‍රාතවරුන් මෙවැනි කරන බලපෑම් සාධාරණ ද යුක්ති සහගතද? කවර ප්‍රජාතන්ත්‍රවාදයද? කවර අධිකරණයේ ස්වාධිනත්වයක්ද? මේ අධිකරණයේ ස්වාධිනත්වයට බලහත්කාරයෙන් අත පෙවීමක් තමා මේ කරන්නේ. ඒ වගේම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විධායකට අනුගත වන ලෙසට මහේස්ත්‍රාත්වරුන්ට සිදු කර ඇති මෙම බලපෑම් සහගත සිදුවීම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා අපි දැන ගන්න කැමති
අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන ලෙස ස්ථාපිත කරලා තියන ආයතනයක්. එම ආයතනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ ස්වාධීණ ලෙස. ඒ සඳහ බලපෑම් කිරීමට අධිකරණ අමාත්‍යවරයාට හා රජයට කිසිම හැකියාවක් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. කිසිසේත්ම අපි කරලාත් නෑ. ඒ අනුව මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට ඕනා මේ සම්බන්ධයෙන් සිදු වෙලා තියෙන්නේ මොකක්ද? ඒ සම්බන්ධයෙන් මොකක්ද එතුමා කියන අකාරයෙන් දෙයක්ද වෙලා තියෙන්නේ තියන එක සම්බන්ධයෙන් සම්පූරණයෙන්ම තොරතුරු ලැබෙන්නට ඕනේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. ඒ සඳහා අපි සති 2 කාලයක් ඉල්ලා සිටිනවා.
මේ අතර අධිකරණ නිලධාරීන් සමග පැවැත්වූ බව කියන සම්මන්ත්‍රණය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය අගවිනිසුරු සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ විනිශ්චයකාරවරුන් දෙදෙනකුට ලිපියක් යොමු කරමින් එම සම්මන්ත්‍රණයේ දී සාකච්ඡා වූ බව කියන මාධ්‍ය හරහා වාර්තා වූ කරුණු කිහිපයක් අවධානයට ලක් කර තිබේ. වෘත්තිය සමිති විරෝධතා සහ අධිකරණයේ භූමිකාව ගැන සාකච්ඡා කිරීම, රටේ පවතින වසංගත තත්ත්වය තුළ මහජන ඒකරාශි වීම් පාලනය සඳහා අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතැම් වගන්ති භාවිත කරන ආකාරය ගැන අධිකරණ නිලධාරීන්ට උපදෙස් දීම, විරෝධතා මැඩලීම උදෙසා පොලීසියේ ඉල්ලීම අනුව නියෝග ලබාදීම සඳහා බලපෑම් සිදු කිරීමේ ප්‍රයත්නයක් තිබුණු බවට අධිකරණ නිලධාරීන් අතර මතයක් නිර්මාණය වීම, යන කරුණු මෙලෙස අවධානයට ලක් කර තිබේ. නඩු පවරන්නන් හා ඔවුන්ගේ නීතිඥවරුන්ට අධිකරණ නිලධාරීන් නඩු විසඳීමේ දී නඩුවේ කුසලතාව මත පදනම්ව වෙනත් සලකා බැලීම්වලින් නිදහස්ව කටයුතු කරන බවට විශ්වාසයක් තිබිය යුතුයි. මෙම කරුණු අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ පාලනයේ මූලික සාධක බවට විනිශ්චකාරවරුන්ට මනා අවබෝධයක් තිබෙන බව ද මෙම ලිපියේ සඳහන් ය. යුක්තිය ඉටු කිරීම පමණක් නොව ඉටුකරන බව පෙන්නුම් කිරීම ද අවශ්‍ය යන නිගමනයට දැන් වාර්තා වන කරුණු පරස්පර බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. අදාළ සම්මන්ත්‍රණය මගින් අධිකරණ කාර්යන් ඉටු කිරීමේදී එය කළ යුතු ආකාරය පිළිබඳ බලපෑමක් හෝ අධිකරණ මනස හා අභිමතය භාවිත කිරීම වැළැක්වීමේ අභිප්‍රායක් හෝ ඇති බවට විනිශ්චකාරවරුන්ගේ හා මහජනතාවගේ සිතේ අදහසක් නිර්මාණය නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියෙන් පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති බලතල හා නීතියේ මූලධර්ම නැති වුවහොත් මෙම ආයතනවල ස්වාධීන බව අවම හෝ අහිමි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. අගවිනිසුරු ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කරන මෙම ලිපියේ අරමුණ කුමන දුෂ්කර අවස්ථාවක දී වුව ද සීමාවකින් තොරව පවත්වා ගත යුතු ගරුත්වයට, මෙවන් සම්මන්ත්‍රණයක් ගැන දැනට වාර්තා වී ඇති කරුණුවලින් නිෂේධාත්මක බලපෑමක් නොවන බව තහවුරු කිරීමටයි.