නිරෝධායන නීතියෙන් ජනතා අයිතීන් මර්දනය කරන්න එපා

භාෂණයේ, ප්‍රකාශනයේ හා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ඇති අයිතියට ඉහළින් නිරෝධායන නීතිය ක්‍රියාත්මක නොවිය යුතුයි - කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කියයි..

by Staff writer 17-08-2021 | 5:32 PM

COLOMBO (News 1st) - රටේ ජනතාවට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති භාෂණයේ, ප්‍රකාශනයේ හා උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට ඇති අයිතියට ඉහළින් නිරෝධායන නිතිය ක්‍රියාත්මක නොවිය යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විවෘත අධීකරණය හමුවේදී අද(17) ප්‍රකාශ කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය ඒ බව සඳහන් කළේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය ලේකම් පුබුදු ජයගොඩ මහතාට එරෙහිව මෝදර පොලීසිය විසින් පවරා තිබු නඩුවක් අද(17) කැඳවූ අවස්ථාවේදීය. එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිය ජීවන උපාය මාර්ග අහිමිවූ මෝදර ප්‍රදේශවාසී ධීවර ජනතාව මෝදර ලුණුපොකුණ ප්‍රදේශයේ පැවැත්වූ සාමකාමි උද්ඝෝෂණ ව්‍යාපාරයකට සහභාගි වී සංචරණ සීමා උල්ලංඝණය කළේ යැයි චෝදනා කරමින් එම නඩුව පනවා තිබිණි. රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කොරෝනා මර්දන නීති උපයෝගී කර ගැනීමේ හැකියාව පොලීසියට ඇතත්, රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව මගින් රටේ ජනතාවට හිමිකර දී ඇති අයිතිවාසිකම් එමගින් මර්දනය නොකළ යුතු බව ද, අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී පොලීසියට පෙන්වා දුන්නාය. ඇය එහිදි නියෝග කර සිටියේ නඩුව දෙසැම්බර් 14 වැනිදා දක්වා කල් තැබීමටයි.