COLOMBO (News 1st) - ක්ලවුඩ් හෙවත් පරිගණක දත්ත අවකාශයක ගබඩා කළ ඉතා වැදගත් ඖෂධ වට්ටෝරු හා සැපයුම් තොරතුරු හදිසියේ මැකියාම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙරටට ඖෂධ ගෙන්වන ආයතන වෙත ලබාදෙන වට්ටෝරු සහ සැපයුම් තොරතුරු දත්ත අවකාශයක ගබඩා කෙරෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේය.
එසේනම් මෙවැන් අතිවැදගත් තොරතුරු මෙතරම් පහසුවෙන් මැකී යන්නේ කොහොම ද ?
මේ ගැන අප කළ සොයා බැලීමේදී ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ, දත්ත ගබඩා කිරීම එපික් ටෙක්නොලිජි නමැති පෞද්ගලික ආයතනයකට භාරදී තිබූ බවයි.
ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ සභාපති, ආචාර්ය රසිත විජේවන්ත මහතා,
මේක අපි භාරදීලා තිබුණේ ප්‍රයිවට් කම්පැනියකට. එපික් ලංකා කියලා. මේක හිතාමතා කරපු කඩාකප්පල් ක්‍රියාවක්ද කියලා සැකකටයුත්තකට අනුව ඒ සඳහා ඉන්වෙස්ටිගේෂන් එකක් කරගෙන යනවා. ඒ නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මේ ඔන්ලයින් හරහා සියලු ක්‍රියාකාරකම් මේ වනවිට ඇණහිටලා තියෙන්නේ.
මෙම තොරතුරු එක්රැස්කිරීම හා ආරක්ෂා කිරීමේ අවසාන වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයටයි.
නමුත් 2018 සිට එම දත්ත ගබඩා කිරීම පෞද්ගලික ආයතනයකින් සිදු කර ඇත.
මින් පෙනි යන්නේ ඕනෑම තොරතුරක් මැකි යාමට හෝ අහිමි වීමට පහසු ඉඩක් තිබෙන බවය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, ආචාර්ය රසිත විජේවන්ත මහතා,
දත්ත පද්ධතියට හානිවෙලා නැහැ. ඒ වුණාට මේ මැපින් කරගන්න හැකියවක් නැහැ මේ සිස්ටම් එක හරහා. ඒක නිසා අපේ ඖෂධවේදීන්ට ඇගයිම් කටයුතු කරන්න බැහැ. හැබැයි අපි මේක මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා මැනුවලි අරගෙන ප්‍රශ්නයක් නොවන ආකාරයට ඇගයිම් කටයුතු කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරගෙන යනවා.
පරිගණක ගත කළ දත්ත මැකිගොස් ඇත්නම් එහි අනුපිටපතක් නැති නම් යළි නිවැරදි තොරතුරු ගබඩා කරන්නේ කෙසේ ද?
මේ ගැන අප එපික් ටෙක්නොලිජි සමුහයේ සභාපති ආචාර්ය නයන දෙහිගම මහතාගෙන් විමසීමක් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරන බැවින් අදහස් දැක්විය නොහැකි බවයි.
රජයේ සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වගකීම දරන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජීත ආයතනයයි.
එසේනම් ඖෂධ නියාමන අධිකාරිය සතු මෙම තොරතුරු දත්ත අවකාශයක ගබඩා කිරීමේ වගකීම ගිලිහුණේ කෙසේ ද ?
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඕෂධ සේනානායක මහතාගෙන් ද අප විමසීමක් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, මෙම දත්ත අහිමිවීම පිළිබඳව වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරියටත් එපික් ටෙක්නොලිජි සමුහයත් සතුව පවතින බවයි.
මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයට පුර්ණ සහය දෙන බව ඔහු පැවසුවේ ය.
ඖෂධ වට්ටෝරුවල සහ සැපයුම් දත්ත මැකියාමෙන් ඉදිරි ඇණවුම් තක්සේරු ආදිය සිදු කිරීම ගැටලුවක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියම පිළිගනි.
එසේනම් මෙවන් අධිසංවේදී තොරතුරු තුන්වැනි පාර්ශවයක් අතට යාමේ පහසු ඉඩක් තැබුවේ ඇයි.?
මෙම දත්ත මැකියාමකදී හෝ අහිමිවීමකදී ප්‍රතිපූරණය කළ හැකි ක්ලවුඩ් ඩිසාස්ටර් රිකවරි ක්‍රමවේදයක් නොතිබුණේ ඇයි ?
මෙහි ඇත්ත කුමක් ද ?
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.