WHO එන්නත්කරණ ක්‍රමය ලංකාවේදී වෙනස් කළේ කවුද?

වෙන රටවල් මුලින්ම එන්නත දුන්නේ 60ට වැඩි අයට, අපි දුන්නේ 30ත් 60ත් අතර පිරිසට - අනුර කුමාර

by Staff writer 15-08-2021 | 10:13 PM

COLOMBO (News 1st): වසංගතයෙන් ජන ජීවිත බේරා ගැනීමට නොපමාව පියවර ගන්න ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා,
ලෝක සෞඛ්‍ය සංවිධනයේ මාර්ග උපදේශයන් හා අපේ රටේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම්ගේ එකතුවෙන්, එන්නත්කරණ ජාතික වැඩපිළිවෙළ හදලා පසුගිය ජනවාරි 18 වැනි දා ලෝක සෞඛ්‍ය සංවිධානයට භාර දෙනු ලැබුවා. මෙම ජාතික වැඩසටහනේ තිබුණේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ප්‍රමුඛ කරගෙන මීට මැදිහත් වෙන කාර්ය මණ්ඩලය ප්‍රමුඛ කර ගත යුතුයි කියලා. ඊළඟ ප්‍රධාන ප්‍රමුඛතාවය තිබුණේ අවුරුදු 60 ට වඩා වැඩි විවිධ සංකූලතා හා විවිධ ලෙඩවලින් පෙළෙන අය හා 60 ට වඩා වැඩි පුරවැසියන්. ලෝකයේ හැමතැනම එන්නත්කරණ ඒ ප්‍රමුඛතාව තිබුණේ වයස්ගත කාණ්ඩයට. ලෝකය පුරා එන්නත්කරණය පිළිබඳ තිබුණ අත්දැකීම් සියල්ල ප්‍රතික්ෂේප කොට අපේ එන්නත්කරණය කරන්න පටන් ගත්තා අවුරුදු 30ත් 60ත් අතර. අපි දැනගන්න කැමතියි ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරලා තිබුණ එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනස් කොට තිහක් හැටත් අතර ප්‍රමුඛතාවය ලයිස්තුවට ආවේ කොහොමද. කවුද ඊට නිර්දේශයක් ලබා දුන්නේ. මට මතකයි ඒ වෙලාවේදී සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ අමාත්‍යවරිය කියනවා මේ වෙනස් කර ඇති බව ඇයවත් දන්නේ නැහැ කියලා. මෙවැනි වෛරස් තත්ත්වයකදී වැදගත්ම දේ තමයි අනාගතයේදී විය හැකි දේ පුරෝකතනය කරන්න ඕන. හැබැයි අද. මේ රටේ මරණ පිළිබඳව ඉදිරිපත් වන දත්ත තොරතුරු හෝ ආසාදිතයින් පිළිබඳව ඉදිරිපත් වන දත්ත තොරතුරු හෝ මේ රටේ කිසිදු පුරවැසියෙක් විශ්වාස කරන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි එම දත්ත තොරතුරු මත පදනම්ව ගොඩනැගෙන පුරෝකථන වැරදි පුරෝකථන. මම දැක්කා කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ ඉන්න රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවා ප්‍රකාශ කොට තිබෙනවා දෛනික මරණ සංඛ්‍යාව මේ වනවිට 250 ඉක්මවිය හැකි යි කියලා. ඒ වගේම පසුගියදා ගම්පහ දිස්ත්‍රික් රැස්වීමේදී ඉතාමත් භයානක තොරතුරක් හෙළිදරව් වනු ලැබුවා. රෝගීන් 8326ක් වාර්තා වෙලා නැහැ ඒ කියන්නේ වාර්තා වෙනවා වගේ තුන් ගුණයකට අධික රෝගීන් ප්‍රමාණයක් ඇත්තටම ඉන්නවා. ඒක ඊයේ බදුල්ලෙ වාර්තා වුණා. නැගෙනහිර පළාතෙන් වාර්තා වුණා. මේ නිසා හරි පැහැදිලියි දත්ත තොරතුරු විකෘති කරණයට භාජනය කරනවා. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටිනවා ඔබ මතක තබා ගත යුතුයි මේ රටේ පුරවැසියන් ඔබට ඡන්දය දී මේ රටේ පාලකයා බවට ඔබ තෝරා පත්කරගෙන තිබෙනවා. හැබැයි ඒකෙන් ඔබ හඟවන්න එපා ජනතාවගේ ජීවිතය කඩදාසියකින් අත්සන් කොට තමන්ට ලබා දී ඇති බව. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කළා නම්  සියයට අසූවක් බේරගන්න තිබුණා කියලා. එහෙනම් මේ 80% ම කියන්නේ ඝාතන. අප පුරවැසියන් ගෙන් ඉල්ලා සිටින්නේ දැන් තමන් වෙනුවෙන් තමන්ගේ දරුවන් වෙනුවෙන්, තමන්ගෙ නෑ හිතවතුන් වෙනුවෙන්, තමන්ගේ අසල්වැසියන් වෙනුවෙන් තමන්ගේ රටේ පුරවැසියන් වෙනුවෙන්, තමන් ආරක්ෂා වීම සඳහා ක්‍රියාමාර්ගවලට අවතීරණ වෙන්න