ආසාදිත රැඳවියන්ට ප්‍රතිකාර කිරීමට නව මධ්‍යස්ථාන

කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර කිරීමට නව මධ්‍යස්ථාන

by Staff writer 15-08-2021 | 9:01 AM

COLOMBO (News 1st ) - කොවිඩ් ආසාදිත බන්ධනාගාර රැඳවියන්ට ප්‍රතිකාර කිරීමට නව මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේ, තල්දෙන, පල්ලේකැලේ, අඹේපුස්ස සහ අඟුණුකොළපැලැස්ස යන ප්‍රදේශවල එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවය. මීට පෙර බන්ධනාගාරවල කොවිඩ් ආශ්‍රිත රැඳවියන් ප්‍රතිකාර සඳහා අයියකච්චි සහ වටරැක මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබිණි . මේ අතර, කොවිඩ් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හමුවේ බන්ධනාගාරවල ඇතිවන තදබදය අවම කිරීම සඳහා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි රැඳවියන් 14,000කට ආසන්න පිරිසක් ඇප මත නිදහස් කර තිබේ. බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ, මීට පෙර බන්ධනාගාර ආශ්‍රිතව 33,000කට අධික පිරිසක් රඳවා සිටි බවය. එය මේ වනවිට 19,000 දක්වා අඩු කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය . මේ අතර බන්ධනාගාරගත රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම නැවත දැනුම් දෙනතුරු නතර කර තිබෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවය. නීතිඥ මහතුන් සඳහා ද නඩු කටයුතු වෙනුවෙන් රැඳවියන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන අතර අවශ්‍ය නඩු කටයුතුවල ලියකියවිලි පමණක් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ලබා දීමට හා ලබා ගැනීමට පමණක් අවස්ථාව සලසා දී ඇත .