ඇෆ්ගනිස්තාන ජනපති අෂ්රෆ් ගානී  රටින් පැනයයි

ඇෆ්ගනිස්තාන ජනපති අෂ්රෆ් ගානී රටින් පැනයයි

by Sagarika Chathumali 15-08-2021 | 9:51 PM

COLOMBO (NEWS1ST) : තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට  ඇතුළු වීමත් සමග ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ටජිකිස්ථානය බලා පිටත්ව ගොස් ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාතික සංහිඳියාව සඳහා වූ කවුන්සිලයේ ප්‍රධානී අබ්දුල්ලා පවසා ඇත්තේ හිටපු ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ජාතිය හැර ගොස් ඇති බවයි. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී රටේ එරට පළාත් 34 න් 26 ක්ම අල්ලා ගත් තලේබාන් සටන්කාමීන් අද කාබුල් නගරය වටලා ගැනීමෙන් පසු සාමකාමී ලෙස බලය හුවමාරු කර ගැනීම සඳහා වූ සාකච්ඡා මධ්‍යයේ ජනාධිපතිවරයා මෙලෙස රට හැර ගොස් ඇතැයි, වාර්තා වේ. තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවර වටලාගෙන සිටින්නේ බලහත්කාරයෙන් අගනුවර අත්පත්කර ගැනීමේ අදහසක් නොමැති බව පවසමිනි. සටන්කාමීන් සමග රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් හිටපු ජනාධිපති හමීඩ් කර්සායි සාකච්ඡාවට එක්ව සිටින බව වාර්තා වේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරතව සිටි සිට හමුදා භට කණ්ඩායම් එරටින් ඉවත් කර ගැනීමෙන් පසු තලේබාන් සටන්කාමීන් ඉතා කෙටි කාලයක් තුළ සටන දැඩි කරමින් ඇෆගනිස්ථානයේ ප්‍රදේශ රැසක් සිය අණසකට ගත්තේ ය. එහි කූඨ ප්‍රාප්තියට සමීප වෙමින් සටන්කාමීන් කිසිදු සටනකින් තොරවම අද (15) කාබුල් අගනුවර වැටලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

ඇෆ්ගනිස්ථානයට සිදුවූ දේ...

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයට ගොඩබැසීම සිදු වන්නේ, 2001 වසරේදී ය. ඒ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ප්‍රහාර එල්ල වීමත් සමග ඔසාමා බින් ලාඩ්න්ට රැකවරණය දුන් ඇෆ්ගනිස්ථානයට පාඩමක් ඉගැන්වීමේ අරමුණ ඇතිවයි. පළමු වටයේදීම බග්රම් ගුවන් කඳවුරට සෙබළු දස දහසක් පැමිණියහ. එතැන් සිට එල්ල වූ ප්‍රහාරවලින් තලේබාන් බලය බිඳ වැටුණු අතර ඔවුහු තාවකාලිකව විසිර ගියහ. ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයට ගොඩ වීමෙන් පසු දිනෙන් දින ඇතිවූ ගැටුම්වලින් තලේබාන් මර්දනයට වඩා සිවිල් වැසියන් මරණයට පත්වීමත් අනාථ වීමත් සිදු විය . නිවැරදි සංඛ්‍යා ලේඛන නැතත් 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ එකොළොස් ලක්ෂයකට වැඩි පිරිසක් මෙම ගැටුම්වලින් ජීවිත පූජා කර ඇති බවයි. ඇෆ්ගන් යුද්ධයට ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදලින් ඩොලර් ට්‍රිලියනයකට වැඩි මුදලක් වියදම් විය. කිසිදු ප්‍රතිඵලයක් නැති ප්‍රහාරවලින් පසු 2020 පෙබරවාරි මාසයේදී සාමය ළඟා කර ගැනීමේ ගිවිසුමක් අත්සන් තැබිණ. තම පාලනය පවතින කිසිදු ප්‍රදේශයක වෙනත් අන්තවාදී සංවිධානයකට අවසර නොදෙන බවට තලේබාන්වරුන් එකඟ වූහ. තලේබාන් සිරකරුවන් පන්දහසක් නිදහස් කිරීම මේ ගනුදෙනුවේ තවත් කොන්දේසියක් විය . හදිසියේම ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමරිකානු හමුදා හදිසියේම සියරට කඳවීමට මුලින්ම තීරණය කරනු ලැබුවේ, හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. නව ජනපති ජෝ බයිඩන් එය ක්‍රියාවට නැගී ය. එතැන් පටන් ක්‍රියාත්මක වූ තලේබාන්වරුන් රට පුරා අණසක පතුරුවමින් මුළු රට ම බිහිසුණු යුද පිටියක් බවට පත් කළේ ය. මේ සටන් අතරතුර අත්පත් කරගත් අබ්දුල් රාශිඩ් නමැති ඇෆ්ගන් රජයේ හමුදා ප්‍රධානීයාගෙ සුඛෝපභෝගී මන්දිරය තුළ තලේබාන්වරුන් නිදහසේ සැරිසරන ආකාරය දැක්වෙන දර්ශන ද අද ජාත්‍යන්තර මාධ්‍යයට එක්ව තිබිණ. ජනතාව අගාධයට හෙළමින් ක්‍රියාත්මක වූ සටන් අද උච්චතම තැනට පත් වුණේ තලිබාන්වරුන් කාබුල් අගනුවරට ළඟාවීමත් සමගයි . මේ වන විටත් සාමාන්‍ය ජනතාව කලබලයෙන් රට අතහැර යමින් සිටී. තලේබාන් සංවිධානය පවසන්නේ රජයට හෝ හමුදාවට පක්ෂපාතී ව සිටී කිසිවකු ගෙන් පළි ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.