COLOMBO (NEWS1ST) : තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් කාබුල් අගනුවරට ද ආසන්න වෙමින් සිටින පසුබිමකදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය අමතා තිබේ.
ජනාධිපතිවරයා එලෙස ජාතිය අමතා ඇත්තේ, කාබුල් අගනුවරට කිලෝමීටර් 70 ක් පමණ දකුණු දෙසින් වන්නට පිහිටි ලොගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයත් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගැනීමෙන් පසුව ය.
කාබුල් අගනුවරට එල්ල විය හැකි ප්‍රහාරයක් සඳහා හැකියාව සහිත මෙම නගරය කැරලිකරුවන් සිය ග්‍රහණයට නතු කර ගෙන ඇත්තේ, එරට දෙවන සහ තෙවන විශාලතම නගර වන කන්දහාර් සහ හෙර්ට් ද අත්පත් කර ගැනීමෙන් දිනකට පසුවයි.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, තලේබාන් සටන්කාමීන් පළාත් 34 න් 18 කට වැඩි සංඛ්‍යාවක් අත්පත් කර ගන්නා තුරු මුනිවත රැකි ඇෆගනිස්ථාන නායකයින් ප්‍රථම වරට අද (14) එලෙස සිය ජාතිය ඇමතීම විශේෂත්වයක් බවයි.
පටිගත කරන ලද ජනාධිපතිරයාගේ මෙම කෙටි ප්‍රකාශය එරට රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කර ඇති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ගැටුම් නිසා අවතැන්ව සිටින ඇෆ්ගනිස්ථාන ජනතාවට උපකාර කිරීම සඳහා තමා මාර්ගයක් සොයමින් සිටින බවයි.
තව ද ඇෆ්ගන් හමුදාව යළි ඒ්කාබද්ධ කිරීම සඳහා ප්‍රමුඛත්වය දී ඇති බව ද ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී සඳහන් කර ඇත.
ප්‍රාදේශීය දේශපාලන නායකයින් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ බව ත් සාකච්ඡාවල ප්‍රතිඵල ඉක්මනින් ම දැන ගත හැකි වනු ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
''ඔබේ අනාගතය පිළිබඳව ඔබ කනස්සල්ලට පත්වන බව මට තේරෙනවා. මගේ ජනතාව අස්ථාවර වීම, හිංසනයට ලක්වීම සහ අවතැන් වීම වැළැක්වීම කෙරෙහි මම අවධානය යොමු කරන බව ජනාධිපතිවරයා ලෙස මා සහතික වනවා''
20 වසරක් තිස්සේ, ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලට සම්බන්ධව සිටි එක්සත් ජනපදය ප්රමුඛ විදෙස් භට කණ්ඩායම් ඉවත් කර ගැනීමෙන් පසු පසුගිය මැයි මාසයේදී පුළුල් ප්‍රහාර ආරම්භ කරමින් තලේබාන් සංවිධානය රජය යටතේ පැවති ප්‍රදේශ අත්පත් කර ගැනීමේ සටන් ආරම්භ කළේ ය.
තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශ රැසක බලය තහවුරු කරගනිමින් කාබුල් අගනුවරට ද සමීප වෙමින් ඇති පසුබිමකදී තානාපති නිලධාරීන් ඇතුළු සිය පුරවැසියන් වහාම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේ වනවිටත් ක්‍රියා කරමින් සිටී.
මේ අතර තානාපති නිලධාරීන් ඇතුළු සිය පුරවැසියන් ඉවත් කරගැනීම සඳහා 3000 කින් සමන්විත අමෙරිකානු හමුදා කණ්ඩායම් මේ වනවිටත් කාබුල් වෙත පිටත් කර හැර ඇති බව පෙන්ටගනය පැවසී ය.
මේ අතර බ්‍රිතාන්‍ය ඇතුළු අනෙකුත් රටවල් ද සිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මුදා ගැනීම සඳහා හමුදා භට කණ්ඩායම් ඇෆ්ගනිස්ථානය වෙත පිටත් කර හැර තිබේ.
මේ අතර පසුගිය දා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ, ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා භට කණ්ඩායම් ඉවත් කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් තමාට කිසිදු පසුතැවීමක් නොමැති බවත් ඇෆ්ගනිස්ථාන නායකයින් එක්සත් වී ජාතිය වෙනුවෙන් සටන් කළ යුතුව ඇති බව ත් ය.