'ගම්මැද්ද' ආශ්‍රිතව තවත් ජාත්‍යන්තර පර්යේෂණාත්මක අධ්‍යයන 2 ක්...

by Staff writer 14-08-2021 | 8:40 PM

COLOMBO (NEWS1ST) : අමෙරිකා එක්සත් ජනපදයේ පොදු ජන සේවා පිළිබඳ වඩාත් ප්‍රචලිතම අධ්‍යයන පීඨය වන ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස්හි සිසුන් අඛණ්ඩව දෙවැනි වරටත් ගම්මැද්ද පිළිබඳව පර්යේෂණාත්මක අධ්‍යයන දෙකක් සිදුකර තිබේ.

මීට පෙර එක්සත් ජාතින්ගේ සංවිධානයට හා අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානවලට අයත් ව්‍යාපෘත් ගැන අවධානය යොමු කළ මේ සිසුන් දැන් ගම්මැද්ද ගැන අධ්‍යයන කිරීමට මහත් රුචියක් දක්වන බව ක්ලින්ටන් පොදුජන සේවා අධ්‍යයන පීඨය පෙන්වා දෙයි. 2004 වසරේදී මෙම පොදු ජන සේවා පීඨය ආරම්භ කෙරුණේ , අමෙරිකාවේ ආකන්සෝ විශ්වවිද්‍යාලයට අනුබද්ධිතවයි. ජන සුබසිද්ධිය උදෙසා මහත් පෙළඹවීමක් කළ හැකි සැලසුම් ගැන සොයා අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යයන පීඨයේ ඉගෙනුම ලබන සිසුන්ට අවස්ථාව ලැබේ. ගම්මැද්ද හා සම්බන්ධවී මෙවර පර්යේෂණාත්මක අධ්‍යයනය සිදුකළ සිසුන් තෝරාගත්තේ ග්‍රාමිය ගැහැනු ළමයි මුහුණ පාන සංවේදි තත්ත්වයක් හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තත්ත්වය වඩාත් දියුණු කළ හැකි ආකාරය ගැන සෙවීමටයි. අමෙරිකා එක්සත් ජනපදයේ ආකන්සො විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස්හි ලේන් කෝල්මන්  පැවසුවේ, ගම්මැද්ද සමග එක් ව දුෂ්කර පළාත්වල සිටින දැරියන්ට සනීපාරක්ෂක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට වැඩසටහනක් ආරම්භ කළ බවයි.
''බොහෝවිට තරුණ ගැහැනු ළමයින්ට තම ආර්ථව චක්‍රය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය භාවිත කරන ආකාරය ගැන දැනුමක් නැහැ. ඒ හින්දා සමහරක් දිනවලදී පාසල් යාමට නොහැකි වෙනවා. ගම්මැද්ද සමග එකතුවී අපි මෙවැනි දුෂ්කර පළාත්වල සිටින දැරියන්ට සනීපාරක්ෂක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට වැඩසටහනක් ආරම්භ කළා''
මේ අතර අමෙරිකා එක්සත් ජනපදයේ ආකන්සො විශ්වවිද්‍යාලයේ ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස්හි රොඩ්‍රිගෝ ඊ සන්තෝස් ලෙගස්පි පැවසුවේ, මෙරට අධ්‍යාපන ක්‍රමය අධ්‍යයනය කර ඉදිරි වසර 10 ක කාලය තුළ එය වඩාත් දියුණු කිරීමට නිර්දේශ මාලාවක් සකස් කළ බවයි.
''ඉදිරි වසර 10 ක කාලය තුළ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියාවලියක් සැකසීමට ගම්මැද්ද ව්‍යාපෘතිය සමග වැඩ කිරීමට මට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා දැනට ඇති අධ්‍යාපන ක්‍රමය අධ්‍යයනය කර ඉදිරි වසර 10 ක කාලය තුළ එය වඩාත් දියුණු කිරිමට නිර්දේශ මාළාවක් සකස් කළා''