මේ විදියට සංචරණ තිබ්බොත් දිනක ආසාදිතයින්6000 පනීවි

සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ ලබන මස වනවිට දෛනික ආසාදිතයින් 6000 ඉක්මවිය හැකියි... සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් අනතුරු අඟවයි

by Staff writer 13-08-2021 | 12:58 PM

COLOMBO (News 1st) –  දැනට ක්‍රියාත්මක මට්ටමේ සංචරණ ක්‍රියා පැවැතිය හොත් ලබන මාසය වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,000 ඉක්මවිය හැකි බව ස්වාධීන සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් පුරෝකථනය කර තිබේ.

ඔවුන්ට අනුව ඔක්තෝබර් මුල වන විට දෛනිකව වාර්තාවිය හැකි මරණ සංඛ්‍යාව 220 ක් පමණ වනු ඇති. ලබන වසරේ ජනවාරි වන විට කොරෝනා හේතුවෙන් වාර්තාවන මරණ සඛ්‍යාව තිස් දහසක් පමණ විය හැකි බව ද එම විශේෂඥවරු පෙන්වා දෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය කැඳවන ලද එම විශේෂඥ කමිටු සාකච්ඡාව සඳහා ජාතික මට්ටමේ විශේෂඥයින් 16 දෙනෙකු සහභාගිවී ඇත. ඒ අතරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ, මහජන සෞඛ්‍ය විශේෂඥ වින්යා ආරියරත්න, මහාචාර්ය අසිත ද සිල්වා, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න යන මහත්ම මහත්මින් අයත් වෙති. ඊට අමතරව මහාචාර්ය මලික් පීරිස්, මහාචාර්ය නිලිකා මලවිගේ, මහාචාර්ය කාමනි මෙණ්ඩිස් මහාචාර්ය මනූජ් වීරසිංහ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරු ද එම සාකච්ඡාවට එක්ව සිට තිබේ. දැනට පවතින තත්ත්වය අනුව මෙරට වර්ධනය වන කොවිඩ් 19 තත්ත්වය පවතින්නේ, මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ආසන්න වෙමිනි. සියලු රෝහල්වල ඇඳන් ධාරිතාව 85 % ඉක්වා ඇති අතර දැඩි සත්කාර ඒකකවල ධාරිතාව 90 % ඉක්මවා තිබේ. බොහෝ ප්‍රදේශවල PCR පරීක්ෂණ ධනාත්මක වීමේ ප්‍රතිශතය පවතින්නේ, 20% ඉක්මවමිනි. ජුලි 31 වැනිදා වන විට පරීක්ෂණයට ලක්කරන ලද සාම්පලවලින් 60 %ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව පරීක්ෂණවලින් සනාථ වී තිබේ. විශේෂඥයින්ට අනුව මරණ හා දැඩි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා දෙවන මාත්‍රාව ලබාගෙන සති දෙකත් තුනත් අතර කාලයක් ගතවනු ඇති. අගෝස්තු 9 වැනිදා වන විට මෙරට ජනගහනයෙන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇත්තේ, 15 %ට අඩු පිරිසකි. පවතින වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම ස්වාධීන විශේෂඥයින් කණ්ඩායම නිර්දේශ 6 ක් ඉදිරිපත් කර තිබේ. මෙහි පළමුවැන්න වන්නේ, අත්‍යවශ්‍ය සේවා හැර අන්තර් දිස්ත්‍රික්ක අතර ද ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා පනවන ලෙසයි. එම සංචරණ සීම, කාර්යක්ෂමව ක්‍රියාත්මකට කෙටි කාලසීමාවක් උදෙසා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම ද විශේෂඥවරුන් නිර්දේශ කර තිබේ. ඔවුන්ගේ දෙවන නිර්දේශය වන්නේ සති තුනක කාලයක් සඳහා සියලුම මහජන උත්සව සීමා කිරිම හෝ අවලංගු කිරීමයි. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා අඩපණවීමකින් තොරව රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය සේවකයින්ට අවශ්‍ය ආරක්ෂාව හා පහසුකම් සැපයීම තවත් නිර්දේශයකි. කාර්යක්ෂම සංනිවේදන සැලැස්මක් සංවර්ධනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ද එම නිර්දේශ අතරට අයත් වේ. භුමියේ සැබෑ තත්ත්වය වඩා හොඳින් අවබෝධ කර ගැනීම සඳහා මරණ පිළිබඳ හා ආසාදිතයින් පිළිබඳව නිවැරදිව වාර්තා කිරිමත් නිර්දේශවලට අයත් ය. වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදීම හා ඔවුන්ට ෆයිසර්, මොඩානා හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදීම සුදුසු බවට ස්වාධීන විශේෂඥයින්ගේ නිර්දේශයයි. ඔවුන් පෙන්වා දෙන්නේ, දෙවන මාත්‍රාව ලබාදෙන තෙක් යම් පමණකට හෝ ආරක්ෂාවක් එම එන්නත්වල පළමු මාත්‍රාව ලබාදීමෙන් ලබාගත හැකි බවයි.