තලේබාන් කන්දහාර් හි බලය ත් සියතට ගනී

තලේබාන් ඇෆ්ගනිස්ථානයේ දෙවන විශාලතම නගරයත් සියතට ගනී...

by Sagarika Chathumali 13-08-2021 | 11:32 AM

COLOMBO (News1st) :  නගර රැසක බලය අත්පත්කර ගනිමින් සිටින තලේබාන් සටන්කාමීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා උග්‍ර වීමත් සමග අමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිය තානාපති කාර්යාල නිලධාරීන් සහ සහන ආයතන සේවකයින් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ,  තානාපති කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීම සඳහා පැය 48 ක් තුළදී හමුදා භටයින් 3,000 ක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත් කර හැරීමට අමෙරිකාව තීරණය කර ඇති බවයි. තව ද බ්‍රිතාන්‍ය තම වැසියන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීම සඳහා හමුදා සාමාජිකයින් 600 ක් පමණ යොදවන බව ප්‍රකාශ කර ඇති අතර අනෙකුත් තානාපති කාර්යාල සහ ආධාර කණ්ඩායම් ද සිය සේවකයින් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කර තිබේ. පසුගිය සතිය තුළ ඇෆ්ගනිස්ථානයේ පළාත්  34 ප්‍රධාන නගර  11 කම බලය සියතට ගත් තලේබාන් සටන්කාමීන් මේවනවිට ඇෆ්ගනිස්ථානයේ දෙවන විශාලතම නගරය වන කන්දහාර් සහ තෙවන විශාලතම නගරය වන හෙර්ට් නගරයත් සිය අණසකට ගෙන ඇත. ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වලට සම්බන්ධව සිටි එක්සත් ජනපදය ප්රමුඛ විදෙස් භට කණ්ඩායම් ඉවත් කර ගැනීමෙන් පසු පසුගිය මැයි මාසයේදී පුළුල් ප්‍රහාරයක් ආරම්භ කරමින් තලේබාන් සංවිධානය ආරම්භ කළ සටන්වල වැදගත්ම ජයග්‍රහණ දෙක මෙය ලෙස සැලකේ. සටන්කාමීන් පවසන්නේ, ප්‍රමුඛ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස උපායමාර්ගිකව වැදගත් සහ  වරෙක සිය බලකොටුවක්  වූ  කන්දහාර් අත්පත් කර ගැනීම සිය සංවිධානය ලද විශාල ජයග්‍රහණයක් බවයි. මේ අතර පසුගිය දා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් අමතමින් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ, ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා භට කණ්ඩායම් ඉවත් කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් තමාට කිසිදු පසුතැවීමක් නොමැති බවත් ඇෆ්ගනිස්ථාන නායකයින් එක්සත් වී ජාතිය වෙනුවෙන් සටන්  කළ යුතුව ඇති බව ත් ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය මාසයේ තලේබාන් සටන්කාමීන් සහ ඇෆ්ගන් හමුදාව අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ජීවිත අහිමි වී ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 1,000 කට අධික ය.