ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ගෑස් සමාගමක් ස්ථාපනය කිරීමට රජයේ අවධානය...?

by Staff writer 12-08-2021 | 8:55 PM

COLOMBO (NEWS1ST) : ලාෆ් ගෑස් මිල වැඩි කිරීමට පාරිභෝගි කටයුතු අධිකාරිය අද (12) අනුමැතිය දුන්නේ ය.

මෙරට ගෑස් සැපයීම සිදුකරන ලිට්රෝ සහ ලාෆ් සමාගම් පසුගිය දිනවල දිගින් දිගටම මිල කිරීමකට අනුමැතිය ඉල්ලා තිබුණේ, ලෝක වෙළෙඳපොළ මිල ගණන් වැඩි වූ බව පෙන්වා දෙමිනි. නමුත් රජය ඊට අවසර නොදුන් අතර මේ හේතුවෙන් ලාෆ් සමාගම ගෑස් සැපයුම නතර කළ අතර වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ද ඇති විය. කෙසේවෙතත් අද (12) පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේ, කිලෝග්‍රැම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් වැඩි කිරීමට ලාෆ් ගෑස් සමාගමට පමණක් අනුමැතිය දුන් බවයි. පාරිභෝගික අධිකාරිය ලබාදුන් මිල වැඩි කිරීමේ අනුමැතිය අනුව කිලෝග්‍රැම් 12.5 ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1856 කි. කිලෝ ග්‍රෑම් 5 ක ගැස් සිලින්ඩරයක මිලද රුපියල් 145 කින් වැඩි කිරීමට අද (12) ලාෆ් සමාගමට අවසර හිමිවිය. නමුත් ලිට්රෝ සමාගම තවදුරටත් ගෑස් අලෙවි කළ යුත්තේ පැවති මිලටයි. සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, රජය පාඩුව විඳදරා ගෙන ලිට්ට්‍රෝ සමාගම පෙර මිලටම ඒ ගෑස් අලෙවි කරනු ඇති බවයි.

''හෙට ඉදන් වුණත් ඒ සමාගමට ඒ මිල ගණන් යටතේ, ලාෆ් සමාගමට ඒ ගෑස් අළෙවි කිරීමට හැකියාව පවතිනවා. නමුත් රජය පාඩුව විඳ දරා ගෙන ලිට්ට්‍රෝ සමාගම විසින් පෙර මිලටම ඒ ගෑස් ලබාදීමට අවශ්‍ය ක්‍රියා මාර්ග අරගෙන තිබෙනවා''

මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ, රජයට සහනාධාරවල ප්‍රමාණය දාරාගත හැකි වන්නේ, රජයේ ආදායම අනුව බව ත් රජයට ආදයමක් නැති නම්, එම බර දරාගත නොහැකි බව ත් ය.
''ලිට්ට්‍රෝ සමාගටත් මේ කොච්චරකල් කරන්න පුළුවන්ද? කියන එක තීරණය වෙන්නේ ලෝක වෙළඳපොළේ දිගටම මිල වැඩි කරනවා. නම් රජයට මේ දරන සහනාදාරවල ප්‍රමාණය දාරාගන්න පුළුවන්. වෙන්නේ රජයේ තියන ආදයම අනුව. රජයට ආදයමක් නැත්තන් මේ බර ආණ්ඩුවට දරන්න බෑ. ඒ නිසා තමයි ලොකයේ බොහෝ රටවල් රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්නේ බාගෙට පුළුවන් නම් පුළුවන් සහනයක් නොදී ඉන්නේ නෑ. රජය දෙන්න පුළුවන් හැම සහනයක් දෙනවා''
මේ අතර ලාෆ් ගෑස් සමාගම සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසන්නේ, වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත වතාවක් ගෑස් ඇනවුම් කිරීමට කටයුතු කරන බවයි.
''අපිට ලැබිලා තියෙන්නෙ අවශ්‍ය ප්‍රමාණයට අඩුයි. නමුත් ලංකාවේ පාරිභෝගිකයෝ ගැන කල්පනා කරලා අපි වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් නැවත වතාවක් ඇනවුම් කරලා ගෙන්නන්න කටයුතු කරමින් තියනවා. අපි විශ්වාස කරනවා වැඩිම වුණොත් දවස් 7ක් වගේ කාලයක් ඇතුළත අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. සම්පූර්ණ වෙළඳපළ සම්තෘප්තිමත් වෙන්නට මේ තියෙන හිඟයත් එක්ක මාසක් විතර යයි''
මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ගෑස් සමාගමක් ස්ථාපනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතාගෙන් අප කළ විසීමකදී ඔහු ප්‍රකාශ කළේ, අදාළ කරුණු තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බවයි. ප්‍රමාණවත් ගෑස් තොග නොලැබීම නිසා අදත් විවිධ ප්‍රදේශවල ජනතාව අපහසුතාවයට පත්විය.