by Staff writer 12-08-2021 | 8:11 PM
COLOMBO (News 1st) - රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට බල උන්මාදය, පුහු මාන්‍යය උද්දච්චකම හා වගකීම් විරහිතකම නැමති රෝගයන් ආසාදනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් අවාසනාවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවට බවය.
එසේ තිබියදී ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙක් ඉදිරිය දෙවියන්ට භාර කරන බවට අමනෝඥ ප්‍රකාශයක් කර ඇති බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
මුල සිටම මෙම ව්‍යසනය තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියක් බවට ආණ්ඩුව පත් කරගත් බව පවසන විපක්ෂ නායකවරයා සිහිපත් කරන්නේ, කොරෝනා පරාජය කළ බවට පුරසාරම් දොඩමින් ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ ආකාරය ජනතාවට මතක තිබෙන බවය.
කොරෝනා එන්නත කල්තියා ඇණවුම් කරන ලෙස පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අනේකවාරයක් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි අතර රාජතාන්ත්‍රික මට්ටමින් විවිධ තානාපතිවරුන් හමු වූ සෑම අවස්ථාවකදීම තමන් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව ද ඔහුගේ නිවේදනයේ සඳහන් ය.
ප්‍රේමදාස මහතා පවසන්නේ, ඒ සියල්ල උපහාසයෙන් යුතුව බැහැර කළ ආණ්ඩුව ඒ වෙනුවට ධම්මික පැණිය ප්‍රචලිත කළ බවය.
එය පාර්ලිමේන්තුවට රැගෙන එමින් ඇතැම් මැති ඇමතිවරුන්ම පැණි ප්‍රචාරක නියෝජිතයින් බවට පත් වූ ආකාරයත් ඇමතිවරු ගංගාවලට මුට්ටි දැමීම ජනගත කරමින් මිත්‍යාවේම ලැඟ සිටි ආකාරයත් ඔහු සිය නිවේදනයේ යළි සිහිපත් කර තිබේ.
විපක්ෂ නායකවරයා පවසන්නේ, තත්ත්වය උග්‍රවී එන්නත් ආනයනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන විට ව්‍යසනය සමාජගත වී තිබූ බවය.
එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, ඊට මූල්‍ය සම්පත් වෙන් කිරීම මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදාහැරීම සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාව දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් තමන් නිරන්තරයෙන් ඉදිරිපත් කළ නමුත් ආණ්ඩුවට එවැනි සැලසුමක් නොතිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස වී තිබේ.
ඔහු පවසන්නේ, කැනඩාව වැනි රටවල් එක් පුරවැසියෙකුට එන්නත් මාත්‍රා කිහිපයක් වෙන් කරගත් බැවින් අදත් එම රටවල එන්නත් අතිරික්තයක් තිබෙන බවය.
නමුත් මෙරට පළමු එන්නත හෝ ලබාගත් නොගත් පිරිස් සිටින බව සිහිපත් කරන සජිත් ප්‍රේමදාස මහතා තමන් එදා සිට මේ දක්වා කල් තියා ප්‍රකාශ කරන ලද සියල්ල, නිවරැදි වී ඇති බව ද අවධාරණය කරයි.
කොරෝනා ව්‍යසනයෙන් මියගිය සියයට 80 කට වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවූවන් බව පවසන විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය රෙගුලාසි අනුව එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය දිය යුතුව තිබුණේ එම පිරිසට බවය.
මුල සිටම ආණ්ඩුව එන්නත්කරණයේදීත් බලපුළුවන්කාරකම සහ දේශපාලනය ගාවගත් අතර එන්නත්කරණය සම්බන්ධයෙන් අදටත් ඉදිරිපත් කරන වාර්තා පරස්පර බව විපක්ෂ නායකවරයාගේ අදහස වී ඇත.
ඔහුගේ නිවේදනයේ සඳහන් වන්නේ, කොරෝනා ව්‍යසනය පරාජය කළ සෑම රටක්ම පාහේ එය සිදු කළේ එන්නත්කරණයෙන් බවය.
ඒ, සෑම රටක්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයන්ට එම කටයුත්ත භාරදුන් බව පෙන්වා දෙන විපක්ෂ නායකරයා අපේ රටේ සිදු වූයේ එවැනි විශේෂඥයින් පසෙකට දමා හිතුමනාපයට තීරණ ගැනීම බව අවධාරණය කරයි.
වෛද්‍ය මලික් පීරිස්, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, වෛද්‍ය අනිල් ජාසිංහ සහ වෛද්‍ය රවී රනන්එලිය ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ඉවත දමා ඔවුන් පසෙකට කළ ආණ්ඩුව, අඩු තරමේ පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛරස් පිළිබඳ විශේෂඥයෙකු වන මාහාචාර්ය තිස්ස විතාරණගේ උපදෙස් පවා පිළිනොගත් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.