''දැන් කවු ද ඇත්ත කියන්නෙ..?.'' - හඳුන්නෙත්ති

by Staff writer 12-08-2021 | 7:58 PM

COLOMBO (NEWS1ST) : වසංගත තත්ත්වය පිළිබඳව පළ වන දත්තවල බරපතළ පරස්පරතා ඇතැයි, ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

''අගෝස්තු මාස පළවෙනිදා ඉදලා පළමු දින 8 ට ගම්පහ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීමෙදි වාර්තා වෙනවා. වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 12,555ක් කියල. හැබැයි ඒ දින 8 ටම කොවිඩ් මර්දන බලකායෙන් වාර්තා කරල තියෙන්නෙ 3,729 යි කියලා. එතකොට 8,826 කගේ දත්ත තොරතුරු පිළිබඳව වෙච්ච දෙයක් නැතිව තියෙනව. ඒ වගේම ඊයෙ කියනවා මගඇරිච්ච රෝගීන් ප්‍රමාණයක් ආයෙ අලුතින් එකතු කරල තියෙනව කියල 3,223 ක. කොවිඩ් මර්දන ඒකකයෙන් කියන කොට මඩකළපුවෙ ඉන්නෙ 45 දෙනයි කියල නැගෙනහිර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියනවා මඩකලපුවෙ ඉන්නව කියල 342ක්. ත්‍රිකුණාමලයෙ 71ක් කියන කොට බලකායෙන්, සෞඛ්‍ය අධ්‍යක්ෂකවරය කියනව 163ක් ඉන්නව කියල.''
මෙවන් තත්ත්වයක් තුළ ඇත්ත කියන්නේ කවුද? යන්න පිළිබඳ ගැටලුවක් මතුවන බව ත් රෝගීන්ට අදාළව පමණක් නොව මරණ සම්බන්ධයෙනුත් තත්ත්වය මෙසේ ද? යන සාධාරණ සැකය ජනතාවට ඇතිවීම වැළැක්විය නොහැකි බවත් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය. කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සංඛ්‍යා ලේඛන වැරදි ද?ගම්පහ ආසාදිතයින් 7000 ක් මග හැරුණා ද? නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊට අදාළව කරුණු පැහැදිලි කරමින් පැවසුවේ, වසංගත රෝග විද්‍යා අංශය සමග සාකච්ඡා කර එහි වරදක් තිබේ නම්, වහාම නිවැරදි කරන බවයි.