රැපිඩ් PCR යන්ත්‍ර මිලදී ගැනීම ප්‍රමාද කරනවාද?

රැපිඩ් PCR යන්ත්‍ර මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාද කරනවාද?

by Staff writer 11-08-2021 | 11:33 PM

COLOMBO (News 1st) - සාමාන්‍ය පී.සී.ආර්. පරීක්ෂණයක ප්‍රතිඵලය ලැබෙන්නේ සාම්පල ලබාගෙන දිනක් හෝ දෙකක් ගත වූ පසුවයි.

නමුත් රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණයකින් පැයක පමණ කෙටි කාලයක් තුළ කොවිඩ් ආසාදිතයෙකු දැයි පරීක්ෂා කර බැලිය හැකියි. මේ නිසා ඇතැම් ගුවන් සමාගම් දැනටමත් මගීන්ගෙන් රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉල්ලා සිටී. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ විද්වත් සංගමය පවසන්නේ, මේ නිසා ඉතා ඉක්මණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ උපකරණ මිලදී ගත යුතුව ඇති බවය. නමුත් පසුගිය ජුනි මාසයේ පළමු සතියේ අවසන් කළ ටෙන්ඩර් ක්‍රියාවළිය තවමත් ප්‍රමාද කරමින් මෙම යන්ත්‍ර මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය කල් දමමින් සිටින බවට ඔවුන් චෝදනා කරති. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ විද්වත් සංගමය පවසන්නේ, කිසියම් හිතවත් පාර්ශ්වයකට වාසිදායක අයුරින් ගනුදෙනුව සිදුකිරීම සඳහා මෙම ප්‍රමාදය ඇතිකර ඇත්දැයි විමර්ශනයක් සිදු කරන ලෙසය. මේ අතර එමිරේට්ස් සමාගම දැනටමත් ශ්‍රී ලංකාවෙන් පිටවන ගුවන් මගීන්ගෙන් රැපිඩ් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉල්ලා සිටී. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ විද්වත් සංගමය පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය යන්ත්‍ර මිලදී ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් මෙම පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට නිර්දේශ කර ඇති බවය.