රඹකැන් ඔය විනාශ වෙයි ද?

රඹකැන් ඔය විනාශ වෙයි ද?

by Staff writer 11-08-2021 | 11:25 PM

COLOMBO (News 1st) - ඇල්ගී විශේෂයක් හට ගැනීම නිසා ජලය භාවිතයට ගත නොහැකි වීමත් සමග රඹකැන් ඔය නැවතත් දැඩි අවධානමකට ලක්ව තිබේ.

ජෛව විවිධාත්මක මෙන්ම ඓතිහාසික වටිනාකමක් ද ඇති මෙම ප්‍රදේශයේ කලින් කලට සිදු වන පරිසර විනාශයන් පිළිබඳව නිව්ස්ෆස්ට් දිගින් දිගට ම වාර්තා කළේ ය. රඹකැන් ඔය යනු, හම්බේ හෙළ , කඹරගල, නිල් ගල මාණික්කවෙල, මල්ගහඋස්ස රක්ෂිතවලට යාබද වන පද්ධතියකි. දේශිය වෙදකම පිළිබඳව සුප්‍රකට බුද්ධදාස රජුගේ ඔසු උයන ද මෙම ප්‍රදේශයේ පැවැති බවට විශ්වාස කෙරේ. මෙම පරිසර පද්ධතිය විදේශීය සමාගම්වලට ලබා දීමේ උත්සාහය 1990 දශකය දක්වා දිව යන්නකි. 1990 -1993 කාලයේදී අන්නාසි වගාව සඳහා නිල්ගල ආශ්‍රිත වනභූමිය විනාශ කිරීමේ යෝජනාවක් පැමිණී අතර ජනතා විරෝධය හමුවේ එය අතරමගදී අකුලා ගත්තේ ය. නැවතත් රඹකැන් ඔයේ සිට නිල්ගල දක්වා ප්‍රදේශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් අක්කර 65000ක් සීනි නිෂ්පාදනය සඳහා දීමේ යෝජනාවක් 2006 දෙසැම්බර් 12 වැනි දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය. එහි සීනි නිෂ්පාදනාගාරය ඉදිකිරීමට පමණක් නිල්ගල ඖෂධ උයනෙන් අක්කර 300 ක් ඉල්ලා තිබුණි. ඒ, විනාශකාරී යෝජනාව ද ජනතාව විසින් පරාජය කළහ. පසුගිය අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පෞද්ගලික සමාගම් අටක් සඳහා රඹකැන් ඔය පරිසර පද්ධතියේ ඉඩම් ලබාදීමේ යෝජනාවක් අනුමත කළේ එවන් පසුබිමකයි. හෙක්ටෙයාර දෙදහස් හත්සිය පනහක් පෞද්ගලික ආයෝජකයන්ට බඩඉරිඟු වගා කිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ද හිමිවුණේ මධ්‍යම පරිසර අධිකාරියේ නීතිරීති මාලාවක් ද සමගිනි. කැබිනට් අනුමැතිය ද සහිතව ඓතිහාසික රඹකැන්ඔයේ සිදු කළ හෙළිපෙහෙලි කිරීමේ හේතුවෙන් එහි ජල මුලාශ්‍ර රැසක් විනාශවෙමින් ඇති අයුරු නිව්ස්ෆස්ට් රඹකැන්ඔය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සංචාරය කරමින් අවස්ථා කිහිපයකදීම වාර්තා කළේ ය. එම අවස්ථාවල නිව්ස්ෆස්ට් කළ නිරීක්ෂණයේදී දක්නට ලැබුණේ රඹකැන්ඔය ජලාශය පෝෂණය කල ජල මුලාශ්‍ර රැසක් විනාශ කර ඇති අයුරුයි. ගම්මැද්ද ජනතා මණ්ඩප පවත්වා රඹකැන්ඔය ජනතාවගේ ප්‍රශ්න ඍජුවම බලධාරීන් හමුවට රැගෙන යෑමට ද අප කටයුතු කළෙමු. දැන් නවතම තත්ත්වය රඹකැන්ඔය ජලාශයේ හටගෙන ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් එහි ජලය භාවිතයට ගත නොහැකි තත්ත්වය පත් ව තිබිමයි. රඹකැන්ඔය ජල පිරිපහදු මධ්‍යස්ථානයේ තාක්ෂණික නිලධාරීවරයා පෙන්වා දෙන්නේ, මාස කිහිපයක සිට ජලාශයේ හටගත් ඇල්ගී විශේෂයක් නිසා ජලය පිරිපහදු කිරීමට අධික වියදමක් සහ කාලයක් ගතවන බවයි. අම්පාර ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු පවසන්නේ, කෘෂි රසායකික ද්‍රව්‍ය මුසු වීම මෙම සුපෝශන තත්ත්වයට හේතුවක් විය හැකි බවයි. මේ හේතුවෙන් මත්ස්‍ය අස්වැන්නද සීග්‍රයෙන් අඩුවී ඇතැයි ප්‍රදේශයේ ධීවරයින් පෙන්වා දෙයි. කෙසේ වෙතත් රඹකැන් ඔයේ ජලයෙන් තම පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නා මහඔය කලාපයේ පවුල් 4500 ක් මේ වනවිට දුෂ්කරතාවයට පත් වී අවසන් ය.