by Staff writer 11-08-2021 | 9:15 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව මේ වන විටත් ඉතාමත්ම තීරණාත්මක අඩියකට මුහුණ දෙමින් සිටින අතර ජනතාවට සිදුව ඇත්තේ කොරෝනා වලින් ආරක්ෂා වනවාට වඩා ආණ්ඩුවෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි කියා කල්පනා කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
ඔහු අවධාරණය කරන්නේ, ඒ තරමටම ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත අමානුෂික හා ජනතා විරෝධී වී ඇති බවය.
පුරවැසි ජීවිත සමග කරන සෙල්ලම පසෙකින් තබා පවතින තත්ත්වයේ බරපතලකම වටහාගෙන ආණ්ඩුව වහාම ජනතාවාදී ක්‍රියාපිළිවෙතකට මාරුවිය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, කොරෝනා පාලනය මෙන්ම බඩුමිල පාලනය කිරීම ද ආණ්ඩුව අතින් ගිලිහී ඇති බවය.
ආණ්ඩුව සහල් මාෆියාවට මුහුණ දෙන බවට පුරසාරම් දෙඩූ නමුත් එය සහමුලින්ම අසාර්ථක කටයුත්තක් වී ඇති අතර අද වනවිට සහල් මිල හිතු මනාපයට ඉහළ යමින් ඇතැයි එම නිවේදනයේ සඳහන් ය.
ගජ මිතුරන්ට අධික ලෙස බදු සහන ලබා දෙමින් ගෙන්වූ සීනිවල මිල ද අද වන විට අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා පවසන්නේ, සීනි වංචාව හරහා සිදු වූ පාඩුව සුළුපටු නොවන බවය.
පොල්තෙල් වංචාව මෙන්ම විෂ පොල්තෙල් ආනයනය මගින් ද සිදු වූ විනාශය අතිමහත් බව සිහිපත් කරන ඔහු අද වනවිට පොල්තෙල් මිල ද ඉහළ ගොස් ඇතැයි සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
විපක්ෂ නායකවරයා පවසන්නේ, පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් මේ තුළින් බරපතල පෝෂණ ඌණතාවයකට මුහුණ දී සිටින බවයි.
සහල්, තිරිඟු පිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප්‍රමාණයකින් තොග මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
කිරිපිටි, බටර්, සෝයා, තෙල් සහ විවිධ ආහාර ද්‍රව්‍ය ඇතුළු ධාන්‍ය හා පළතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවලද මිල ඇත්තේ ඊටත් වඩා ඉහළ අගයකයි.
බරපතල වෙළෙඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.
ඔහු පවසන්නේ, බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝණය වී මාෆියාව හිස ඔසවා ඇති බවය.
එදා වේල හෝ පිරිමසා ගන්නට මාර්ගයක් නොමැතිව අන්ත අසරණව සිටින ජනතාවට භාණ්ඩ සහ ආහාර මිල ඉහළ යාම කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක් වන නමුත් ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැතැයි විපක්ෂ නායකවරයා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය අවබෝධ කර නොගෙන අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කිරීම ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින බවය.