ජනතාවට සහන දෙන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවනවා

අයවැය: රටේ ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා - මිලාන් ජයතිලක

by Staff writer 11-08-2021 | 10:42 PM

COLOMBO (News 1st) - 2022 අයවැය සැකසීමේදී අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් අද සිය යෝජනා ඉදිරිපත් කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකදීය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධාන කළ මෙම සාකච්ජාවේදී ග්‍රාමීය ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යන් ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා ලබා ගැනුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ය. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, මෙවර අයවැය සම්පාදනයේදී හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළ බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,
අයවැය සම්බන්ධයෙන් එතුමා අපේ අදහස් විමසුවා යෝජනා පිළිබඳ අදහසක් විමසුවා ඒක තමයි පසුපෙළත් එක්ක කරපු සාකච්ජාව අද සාර්ථකව රට ගෙනියන වැඩපිළිවෙළක් මුදල් අමාත්‍යතුමා සකසමින් ඉන්න බව අපට ප්‍රකාශ කළා. ඒ පිළිබඳ අපිට විශ්වාසයකුත් ඇති වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,
එන්නත්කරණය ප්‍රමුඛ කොටගනිමින් රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් අපි තවදුරටත් මහජන නියෝජිතයන් හැටියට මැදහත් විය යුතු ආකාරයත් මෙතෙන්දී සාකච්ජා කළා.
ප්‍රශ්නය,
රට ලොක්ඩවුන් කරන්න මොනවහරි සාකච්ජා වුණා ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා,
එහෙම සාකච්ජාවක් මං හිතන්නේ කතා වුණේ නෑ
ප්‍රශ්නය,
මේ ගුරු ප්‍රශ්නයට සහන දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වුණාද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා,
ගුරු ප්‍රශ්නය ගැන එහෙම අද අපි ලොකු සාකච්ජාවක් තිබ්බේ නෑ. මේක අයවැය ගැන තිබ්බ සාකච්ජාවක්. ඉදිරියේදී මේ රටේ ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.