අන්ත‌රේ කැඳවුම්කරු ඇතුළු 04ක් යළි රිමාන්ඩ්

අන්ත‌රේ කැඳවුම්කරු ඇතුළු 04 දෙනෙකු 17 වැනිදා දක්වා යළි රිමාන්ඩ්..

by Staff writer 11-08-2021 | 10:31 PM

COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වසන්ත මුදිලිගේ මහතා ඇතුළු පිරිස පසුගිය දා අත්අඩංගුවට ගැනුණේ, පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේය. නීතිඥ සුගත් වික්‍රමරත්න මහතා,
අද දින ස්ථිර විනිසුරුතුමා නොසිටිය බැවින් වැඩබලන විනිසුරුතුමියක් හිටියේ. අපි එතුමියගෙන් අවසර ඉල්ලුවා වසන්ත මුදලිගේ හා අමිල සංදීප වෙනුවෙන් සුවිශේෂී කරුණු දැක්වීමක් සඳහා මේ නඩුව ස්ථිර විනිසුරුතුමා ඉදිරියේ කැඳවන්න කියලා. එතුමිය ආසන්නම දිනය ලබා දුන්නා ලබන 17 වැනිදා. එනම් ලබන අඟහරුවාදා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා,
මේ බී වාර්තාව කියෙව්වාට පස්සේ තේරෙනවා මොනතරම් විශාල වංචාවක් ද මේ කරමින් ඉන්නේ කියලා. අතිශය වංචාකාරී විදිහට මේ මිනිස්සුන්ව හිර කරන්න බලාගෙනම කරන දේවල් කියලා. මහා මාර්ගයක යම් දේකට හානි වුණාම නඩු පවරන්නේ පොදු දේපොළ පනතෙන් නෙමෙයි. ඒකට නඩු පවරන්නේ රථවාහන ආඥා පනතෙන්. එතකොට මේ පොදුදේපල කියන පනත දැන් පාවිච්චි කරමින් ඉන්නවා කළින් නිරෝධානය පනත පාවිච්චි කරපු විදිහටම. දේශපාලඥයෝ අවුරුදු 70 ගාණත් මේකේ පොදු දේපල ඔක්කොම විනාශ කරපු ඒවා ඔක්කොම විකුණගෙන කාපු හොරා කාපු රටක්. එතකොට මේ උද්ඝෝෂණ පවත්වන අය නෙමෙයි පොදු දේපල විනාශ කරලා තියන්නේ.